පොලිසියෙන් කියා අවි පෙන්වා දෙදරු මවක සමූහ දූෂණය කළ දෙදෙනකු වසර 34ක් හිරේ

  👤  3186 readers have read this article !
By mawbima 2018-09-24

මත්තල - ඩී.එන්. ජයසේකර

අම්බලන්තොට මාමඩල ප්‍රදේශයේ නිවෙසකට ඇතුළු වී අවි පෙන්වා බිය ගන්වා දේපළ කොල්ලකා දෙදරු මවක සමූහ දූෂණයට ලක් කළ සැකකරුවන් දෙදෙනකුට වසර 17 බැගින් වසර 34ක සිර දඬුවමක් හා වින්දිත තැනැත්තියට රුපියල් ලක්ෂ තුනක වන්දි මුදලක්ද ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා නියෝග කළේය.
මෙලෙස බර වැඩ සහිත සිරදඬුවම් නියම වූයේ හුංගම, දෙණිය හන්දිය කඩේ පදිංචිකරුවන් දෙදෙනකු වන ඩී.කේ.පී. නිශාන්ත කුමාර නොහොත් මද්දු හා ටී.ජී. පියරත්න නමැති දෙදෙනාටය.
මොවුන් දෙදෙනා 1994.10.02 වැනි දින අලුයම 02ට පමණ මාමඩල, අම්බලන්තොට ප්‍රදේශයේ නිවෙසකට පැමිණ නිවෙසේ නිදා සිටි අය පොලිසියෙන් ආ බව පවසා ඇහැරවා අත් පා ගැට ගසා අවි පෙන්වා බිය ගන්වා ඔවුන් සන්තකයේ තිබූ මුදල් හා රන් භාණ්ඩ කොල්ල කා තිබේ. පසුව නිවෙසේ සිටි 28 හැවිරිදි ගෙහිමියා මිදුලේ ගැටගසා සිටියදී 22 හැවිරිදි දෙදරු මව නිවෙස තුළට රැගෙන ගොස් සමූහ දූෂණයට ලක් කර සැකකරුවන් පලාගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් නිවැසියන් අම්බලන්තොට පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නඩු පවරා තිබේ. සැකකරුවන්ට එරෙහිව පැවැති දීර්ඝ නඩු විභාගයකින් පසු අදාළ චෝදනා සඳහා සැකකරුවන් වැරැදිකරුවන් බවට ඔප්පු විය. සැකකරුවන්ට එරෙහිව හම්බන්තොට මහාධිකරණයේ නඩු විභාගය ආරම්භයේ පටන්ම එක් සැකකරුවකු අධිකරණය මඟහැර සිටි අතර එක් සැකකරුවකු පමණක් අධිකරණය හමුවේ පෙනී සිටියේය. සැකකරුවන් දෙදෙනාගෙන් එක් සැකකරුවකු නොමැතිව පැවැති දීර්ඝ නඩු විභාගයේදී අවි පෙන්වා බිය ගන්වා මංකොල්ලකෑම හා සමූහ දූෂණය යන චෝදනා දෙක සඳහා වැරැදිකරුවන් බවට ඔප්පු විය.

ඒ අනුව සැකකරුවන්ට දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා පළමු සැකකරු වන ඩී.කේ.පී. නිශාන්ත කුමාර යන අයට පළමු චෝදනාව සඳහා වසර 12ක බර වැඩ සහිත සිර දඬුවමක් හා රුපියල් 5000ක දඩ මුදලක්ද, තුන්වැනි චෝදනාව සඳහා වසර 05ක බර වැඩ සහිත සිර දඬුවමක් හා රුපියල් 5000ක දඩ මුදලක් හා අගතියට පත් කාන්තාවට රුපියල් 150,000ක වන්දි මුදලක්ද නියම කළේය. දඩ මුදල් හා වන්දි මුදල් නොගෙවන්නේ නම් තවත් වසර 04ක සිර දඬුවමක්ද පළමු චූදිතට නියම කෙරුණි.

දෙවැනි සැකකරු වන ටී.ජී. පියරත්න යන අයට දෙවැනි චෝදනාව සඳහා වසර 12ක බර වැඩ සහිත සිර දඬුවමක් හා රුපියල් 5000ක දඩ මුදලක් නියම කෙරුණි. තුන් වැනි චෝදනාව සඳහා වසර 05ක බර වැඩ සහිත සිර දඬුවමක් සහ රුපියල් 5000ක දඩයක් නියම කෙරුණි. මීට අමතරව වින්දිත තැනැත්තිය සඳහා රුපියල් 150,000ක වන්දි මුදලක්ද ගෙවන ලෙස නියෝග කෙරුණි.
වන්දි මුදල් හා දඩ නොගෙවන්නේ නම් තවත් වසර 04ක සිර දඬුවමක්ද නියෝග කෙරුණි. අදාළ චෝදනා සඳහා එක් එක් සැකකරුවන්ට වසර 17 බැගින් වසර 34ක සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එය වසර 12කින් ගෙවා අවසන් වෙන ලෙස දඬුවම් නිකුත් කෙරුණි.

අධිකරණය මඟහැර සිටින සැකකරුට එරෙහිව වරෙන්තු නිකුත් කෙරුණු අතර ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර දඬුවම ක්‍රියාත්මක කරන ලෙසද මහාධිකරණ විනිසුරුවරයා පොලිසියට නියෝග කළේය.

පොලිසියෙන් කියා අවි පෙන්වා දෙදරු මවක සමූහ දූෂණය කළ
දෙදෙනකු වසර 34ක් හිරේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon