අපිට බැන බැන ඉන්නේ නැතුව රට භාරදීලා ගෙදර යන්න - හිටපු ජනාධිපති ආණ්ඩුවෙන් ඉල්ලයි

  👤  3245 readers have read this article !
By mawbima 2018-09-24

රට දැවැන්ත අර්බුදයකට යෑමට ප්‍රධාන හේතුව රටට නිසි නායකත්වයක් නොමැති වීම බවත් 2015දී තමා රට භාරදෙන විට පැවැති රුපියල් 131ක් වූ ඇමෙරිකානු ඩොලරයේ වටිනාකම මේ වන විට රුපියල් 170 සීමාව පසුකරමින් තිබෙන බවත් මෙම වසර 3 තුළදී පමණක් රුපියල් 40කින් ඇමෙරිකානු ඩොලරයේ අගය ඉහළ ගොස් රුපියල අවප්‍රමාණය වී තිබෙන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අවධාරණය කරයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා කොළඹ 7, විජේරාම මාවතේ පිහිටි ඒ මහතාගේ නිල නිවෙසේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.

රුපියල මේ වන විට දැඩි ලෙස අවප්‍රමාණය වෙමින් පවතිනවා. 2015 වර්ෂයේදී අපි ආණ්ඩුව භාරදෙන කොට මේ වගේ තත්ත්වයක් තිබුණේ නැහැ. වසර 3ක් ඇතුළත ඉතා වේගයෙන් රුපියල අවප්‍රමාණය වෙලා තිබීම ඉතාම පැහැදිලියි.

2014 වර්ෂයේදී රටේ මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 7,391ක් පමණ වුණා. එය දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ගත් විට ණය බර 71%යි. අපි එදා රට භාරදෙනකොට තත්ත්වය එයයි.
අද වෙනකොට රට ණය වෙලා තියෙනව. රුපියල් බිලියන 11,971ක්. මේ වෙනකොට දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව ණය බර වැඩිවෙලා තියෙනවා 87% දක්වා. 2014 වර්ෂයේදී ණය වෙනුවෙන් ආණ්ඩුව ගෙවූ පොලිය රුපියල් බිලියන 443යි. අද වෙනකොට පොලිය ගෙවීම රුපියල් බිලියන 820යි. මෙය දෙගුණයකින් පමණ වැඩිවෙලා තියෙනවා.

2007-2013 කාලය තුළ විශාල ආර්ථික අර්බුදයක් යුරෝපයේ සහ ආසියාව තුළ ක්‍රියාත්මක වුණා. එම අර්බුදයෙන් බේරුණේ අපි විතරයි. ඒ වගේම ලෝක ආහාර අර්බුදයකුත් ආවා. ලෝක තෙල් අර්බුදයකුත් ආවා. මේ සියලුම අර්බුදවලින් බේරිලා ඊට සාර්ථකව මුහුණ දුන්නේ අපි විතරයි. මේ අවස්ථාවලදී රුපියල කඩාගෙන වැටෙන්න හදනකොට අපි නිතරම සෙවිල්ලෙන් හිටියා. මුදල් අමාත්‍යාංශය, මහා භාණ්ඩාගාරය, රජය මේ පිළිබඳව අවදියෙන් හිටියා. මේ ගැන බැංකු සමඟ සාකච්ඡා කරලා ඒ සඳහා අවශ්‍ය නායකත්වය ලබා දිය යුතුයි. අද එහෙම වෙනවද?

අපි 2015 ජනවාරි 8 ආණ්ඩුව භාරදෙනකොට ඇමෙරිකානු ඩොලරයේ අගය රුපියල් 131.40යි. වසර 3ක් ගතවෙනකොට මේ ආණ්ඩුව යටතේ ඇමෙරිකානු ඩොලරයේ අගය රුපියල් 170 පැනලා. එතකොට බැංකු සාමාන්‍යයෙන් ඩොලර් මාරු කරන්නේ ඊටත් වඩා ටිකක් වැඩියෙන්. ඒ කියන්නේ රුපියල් 172, රුපියල් 175ට වගේ.

මේ අර්බුදය සඳහා විසඳුම් සෙවීමට ඉක්මනට නායකත්වය ලබා නොදුනහොත් මීට වඩා දරුණු තත්ත්වයකට රට පත්වීම වළක්වන්න බැහැ. මේ අර්බුදයට පිළියම් යෙදීමට ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. බැරිකම පිළිඅරගෙන පුළුවන් කෙනකුට භාරදීලා මේ ආණ්ඩුවට යන්න කාලේ හරි. අපිට බැන බැන ඉන්නේ නැතුව පුළුවන් කෙනකුට රට කරන්න භාරදීලා ආණ්ඩුවට යන්න කියන එක තමයි කියන්න තියෙන්නේ"
පාර්ලිමේන්තු මන්ත්‍රි මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන

මේ අර්බුදයත් සමඟ ආයෝජකයෝ දිනපතා රට හැර යනවා. අපේ ආණ්ඩුව කාලෙදි ගොඩනඟපු ස්වදේශ ආර්ථික ව්‍යාපාර කඩා වැටෙනවා.
ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ
ලෝකයේම ඩොලරය ශක්තිමත් වෙලා. මුදල්වල අගය වැටෙනවා. ඒක නිසා අපෙත් වැටෙනවා කියලා කියන ජනාධිපතිලා, අගමැතිලා, මුදල් ඇමැතිලා රටකට ඕන වෙන්නේ නැහැ. ඒ වගේම නුවර පෙරහරේ නටවන පොලිස්පතිලා ඕන වෙන්නේ නැහැ. මේ රට අද විකාරයක් වෙලා.

ඉතා වගකීමෙන් අපි සිරිසේන ජනාධිපතිතුමාටත්, රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාටත් කියනවා ඔයගොල්ලන්ට බැහැ කියලා. ඔයගොල්ලන්ට බැහැ කියලා පෙන්නලා දීලා ඉවරයි. ඔයගොල්ලන් අසමත්.

පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල
2009 වසරේදී "ධන" ආර්ථික වර්ධනයක් වාර්තා කළේ ලෝකයේම රටවල් 26ක් පමණයි. 3.5ක ආර්ථික වර්ධන වේගයක් වාර්තා කරමින් එම රටවල් 26 අතරේ ඉදිරියෙන්ම සිටියේ ශ්‍රී ලංකාවයි. සමස්ත ලෝකයේම ආර්ථිකය පහළට ගලාගෙන යද්දී ඒ අවස්ථාවේදී ජනාධිපති ධුරයට අමතරව මුදල් අමාත්‍ය ධුරය දරපු මහින්ද රාජපක්ෂ මැතිතුමාට පුළුවන් වුණා ලංකාවත් අරගෙන උඩුගං බලා පිහිනන්න. මේ මොහොතේ රට ඉල්ලා සිටින්නේ උඩුගං බලා පීනලා අර්බුදවලට මුහුණ දිය හැකි පෞරුෂත්වයක් තිබෙන නායකයෙක්.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon