ගිරිතලේ දිය කඳ පරදා කඳුළු කඳ උතුරයි

  👤  3216 readers have read this article !
By mawbima 2018-09-24

වැව් කොමළිය රුදුරු වුණේ ඇයි?

මිනුවන්ගොඩ - ටෝනි කේ. අතුකෝරල

බිනර සඳ මෝදුවන්නට තවත් ඇත්තේ පැය කිහිපයක් පමණි. වෙල්එළිය ඔස්සේ මිදුලට ගලා ආ බිනර සඳරැස් ඔවුන්ගේ සිත් පුබුදු කළ නිසාදෝ තම සොයුරියන් දෙපළගේ පවුලේ සැමත්, මවත්, තමාගේ පවුලේ සිවු දෙනාත් සමඟ නෙරන්ජන් වික්‍රමරත්නට පොළොන්නරු පුදබිම වැඳ පුදා ගැනීමට යන්නට සිත්වූයේ කවදත් ඔවුන් දනට පිනට ළැදි පිරිසක් වූ නිසා විය යුතුය.
සැප්තැම්බර් 21දා පාන්දරින්ම ඔවුන් පුලතිසි පුරවරය බලා පිටත් වූයේ අප්‍රමාණ සතුට පෙරදැරිවය. දූනාගහ සිට එලෙසින් පොළොන්නරුවට ගිය ඔවුන් තම ගමනේ කඩඉමක් නිමා කර ගිරිතලේ වෙත පැමිණ සැඩහිරු කිරණින් වෙහෙසට පත්ව ඇති හෙයින් වැව් දියේ බැස ගත සිත සිසිල් කර ගන්නේ මහත් ආශාවෙනි.

වැව් දියේ සිසිලස නොවක් ලෙස විඳි ගිහංසා දියණිය ඇතුළු පිරිස ඉන් ගොඩ නොවී තව ටිකක් වෙලා දියේ රැඳී සිටීමට උත්සාහ කළේ කිසිදා නොසිඳෙන කඳුළක උරුම අපට හිමිකර දෙන්නට දැයි නැඟෙන ප්‍රශ්නාර්ථයකි.
අන්න දුව ගිලෙනවා වගේ කවුදෝ කියනවා ඇසුණි. දරු සෙනේ සම්, මස්, නහර, ඇට, ඇට මිදුලු ඔස්සේ කි¼දා බැස ඇති හෙයින් තවදුරටත් බලා සිට නොහැකි වූ නිරංජන් වහා ගැඹුරු දියඹට බැස්සේ දෙවරක් නොසිතාය. ගිහංසා වික්‍රමරත්න තම ආදරණීය දියණිය සමඟ නෙරන්ජන් වික්‍රමරත්න නම් වූ සත් පුරුෂයාත් වැව් පතුලේ සැඟව ගියේ අවාසනාවන්ත අයුරිනි. දෙනෝදාහක් මර ළතෝනි දුන්නද ගිංහසා දියණියගේ දේහය 21දා රාත්‍රි වෙද්දී හමුවුණත් නෙරන්ජන් වික්‍රමරත්නගේ දේහය හමුවුණේ 22දා අලුයම් කාලයේදීය. දූනාගහ මහ විද්‍යාලය ඇතුළු විදුහල්වලින් ඉගෙනුම ලැබූ නෙරන්ජන් වික්‍රමරත්න දුනාගහ ගලඋඩ පුෂ්පාරාම දහම් පාසලේද ඉගෙනුම ලබා එහි ගුරුවරයකු ලෙසද ජනාදරය දිනා සිටියේය. ජනාධිපති ආරක්ෂක අංශයේ විදුලි කාර්මියකු ලෙස සේවය කළ නෙරන්ජන් පරපුරේ උරුම කලාකාමීත්වයක් හා නිර්මාණශීලී බවින්ද පොහොනා සෙනෙහබර ළබැදි හිතමිතුරකුද විය.

ගිහංසා වික්‍රමරත්න දියණිය මීගමුව නිව්ස්ට්ඩ් බාලිකා විදුහලේ 9 වැනි ශේ්‍රණියේ ඉගෙනුම ලබමින් සිටියාය. ඉගෙනුමේ මනා දස්කම් පෑ අය සැබැවින්ම කීකරු දියණියක වූවාය. පුංචි මල්ලි කෙනකුගේ දයාබර අක්කා වූ ගිහංසා දියණිය නව යෞවනයේ ‍ෙදාරටුවට පිවිස සිටියේද සැම සිත් පොබයමිනි.

තම දියණිය වෙනුවෙන් දහසක් ප්‍රාර්ථනාවන් පොදි බැඳ ගෙන එම ප්‍රාර්ථනාවන් මල් ඵල ගන්වා ගැන්මට නිබඳව කැපවූ ආදරණීය පියාණන් හා එකට අත්වැල් බැඳගෙනම අවසන් ගමන් යන්නට තරම් මේ දියණිය හා පියාණන් අවාසනාවන්ත වූයේ සසරදී කළ කවර හෝ පාපයක් නිසා විය යුතුය.

සුවහසක් දෙනා එක් රොක් වන එවන් අනතුරුදායක තැන් අප රටේ කොතෙකුත් ඇති බව අපි දනිමු. ඛේදවාචකයක් සිදුව ටික කලකින් ඒ අනතුරුදායක තැන් ගැන වගකිවයුතු නෙත් යොමු නොවී අමතක කර දමන බව කිව යුතුව තිබේ. ජනතාව යන එන මෙවන් පොදු තැන්වල ඇති අනතුරුදායක තත්ත්වයන්ගෙන් ජනතාව මුදා ගැනීමට බලධාරීන්ගේ නෙත් වහ වහාම යොමුවිය යුතුය.

පසුගියදා 21 වැනිදා දහවල් ඥාති පිරිසක් සමඟ ගිරිතලේ වැවේ දිය නාමින් සිටියදී දියේ ගිලීමෙන් අතුරුදන්වූ පියා සහ දියණියගේ සිරුරු අතරින් දියණියගේ සිරුර 22 වැනි දින පෙරවරු 5.30 පමණ වන විට ජලතලයෙන් උඩට මතු වී වැවේ පාවෙමින් තිබී ගොඩගත් අතර පියාගේ සිරුර එදින පෙරවරු 7.20ට පමණ ගොඩගනු ලැබුවේ ත්‍රිකුණාමලය නාවික කඳවුරේ නාවික කිමිඳුම්කරුවන් පිරිසකි.

මෙසේ ගොඩගනු ලැබුවේ මිනුවන්ගොඩ පාර, දූනගහ ලිපිනයේ පදිංචිව සිටි වික්‍රම පතිරැන්නැහැලාගේ නිරංජන් වික්‍රමරත්න නමැති 45 හැවිරිදි ජනාධිපති ආරක්ෂක සේවයේ සිටි කාර්මික නිලධාරියකු සහ ඔහුගේ දියණියක වූ වික්‍රම පතිරැන්නැහැලාගේ සෞමිණි ගිහංසා වික්‍රමරත්න නමැති 14 හැවිරිදි මිනුවන්ගොඩ "නිව්ස්ටඩ් බාලිකා විද්‍යාලයේ නව වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියකි.

21දා පාන්දර මිනුවන්ගොඩින් පිටත්වී පොළොන්නරුව පුරවරයට පැමිණි 13 දෙනකුගෙන් යුත් මෙම පිරිස උදේ කාලයේ පොළොන්නරුව ගල් විහාරය ඇතුළු සිද්ධස්ථාන වැඳ පුදාගෙන ඇත. පසුව දහවල් කෑම ගැනීමට පෙර සියලුදෙනා පරාක්‍රම සමුද්‍රයෙන් දිය නෑමට අදහස් කර ඇතත් පසුව ඒ අදහස අත්හැර දහවල් 12.15ට පමණ දියනෑම සඳහා ගිරිතලේ වැවට ගොස් ඇත.
ඔවුන්ගේ ඥාතියකු පැවසූ පරිදි එහිදී එම පිරිසේ සිටි වැඩිහිටි කාන්තාව වන මියගිය නිරංජන් වික්‍රමරත්න මහතාගේ මෑණියන් හැර සෙසු අය සමඟ මියගිය සිසුවියද ඉතාමත් සතුටින් දිය නෑ බවයි. හිටි අඩියේ එම දැරිය දියේ ගිලෙන්නට යන අවස්ථාවේ ඇගේ පියා වන නිරංජන් වික්‍රමරත්න මහතා ඇයව බේරාගැනීමට ඇය අසලට පීනා ගොස් ඇත. එහෙත් ඔහුගේ උත්සාහය ව්‍යර්ථ වී ඇති අතර, ප්‍රථමයෙන් ඔහු දියේ ගිලීගොස් ඇත. දෙවැනුව ටික වේලාවක් දියේ පාවෙමින් සිටිය දැරියද පියා ගිලුණු තැනට මඳක් අෑතින් ගිලීගොස් ඇත.

මේ සිද්ධිය වන විට වේලාව දහවල් 12.45ට පමණ වන්නට ඇතැයි ඔහු අනුමාන කළේය. මේ සිද්ධිය වාර්තා වූ වහාම අප එතැනට යන විට පස්වරු 1.30 පමණ විය. ඒ වන විටත් වැව්පිටිය ආශ්‍රිතව විශාල පිරිසක් එක්රොක්ව සිටි අතර ගිරිතලේ වැවේ ධීවර කාර්මික පිරිසක් දියේ ගිලුණු දෙදෙනා සොයාගැනීමට ඔරුවලින් ගොස් වීසිදැල් දැමීමට සූදානමින් සිටියහ. එම ධීවර පිරිස අවස්ථා කීපයකදී වීසි දැල් උපයෝගි කරගනිමින් සිරුරු සොයා ගැනීමට උත්සාහ කළත් නොහැකි විය. එයින් පසුබට නොවූ එම ධීවරයන් නැවත මාදැලක් උපයෝගි කරගෙන දියේ ගිලුණු දෙදෙනා ඇතැයි සැක කළ ස්ථාන වට කරමින් මාදැල් එලූහ. නමුත් අසාර්ථක විය. පස්වරු 5.30 පමණ වන විට එම අදහස අත්හළ ඔවුන් සහ මින්නේරියේ පොලිස් නිලධාරීන් පසු දා එනම් 22දා නාවික හමුදා කිමිඳුම්කරුවන්ගේ සේවය ලබාගැනීම හැර වෙන කළ යුතු දෙයක් නොමැති බවට තීරණය කළහ.
පසුදින පෙරවරු 5.30ට පමණ දැරියගේ සිරුර වැවේ වේල්ල අසල පාවෙමින් තිබිණි. පොලිස් නිලධාරීන්ගේ පැමිණීමෙන් පසු ඔවුන්ගේ උපදෙස් මත එම සිරුර ගොඩගත් අතර පෙරවරු 6.30ට පමණ පැමිණි ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ කිමිඳුම්කරුවන් විසින් පෙරවරු 7.20ට පමණ නිරංජන් වික්‍රමරත්න මහතාගේ සිරුරද ගොඩගත්හ.
එම සිරුර මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකරන බව මින්නේරිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.ජී.බී. පුෂ්පකුමාර මහතා කීය.

පවුලේ ඥාතියකු මෙසේ කීය. මියගිය අයියාත් දුවත් ඒ ඒ අයගේ පවුලේ අයත් අපි සියලු දෙනාත් එක්ක පොළොන්නරුවේ වන්දනාවේ ආවා. පස්සේ අපි ගිරිතලේ වැවේ දිය නාන්න ආවා. අපි ඔක්කෝම නනා ඉන්නකොට කෞමිණි දුව එක පාරටම අෑතට ගියා. අයියා ගියා දුව බේරා ගන්න. නමුත් දෙන්නාම එක පාරටම නොපෙනී ගියා. අපි උදවු ඉල්ලලා කෑගැහුවා. පස්සේ ගොඩක් අය ආවා. නමුත් බේරා ගන්න බැරි වුණා. 21 දින දවස පුරා සෙව්වත් ඒ දෙන්නාව හොයාගන්න බැරි වුණා. පස්සේ කිමිඳුම්කරුවන් (22දා) දින උදේ ඇවිත් තමයි මළසිරුරු හොයා ගත්තේ කීය.

පසුව ගිරිතලේ දියබෙදුම ප්‍රධාන මාර්ගය අවහිර කළ පැමිණ සිටි ප්‍රදේශවාසීහු ගිරිතලාරාම විහාරාධිපති ස්වාමීන් වහන්සේ සහ මියගිය අයගේ ඥාතීන් සමඟ සාමකාමී උද්ඝෝෂණයකද නිරත වූහ. එහිදී ගරුතර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ විරෝධතාකරුවන් පවසා සිටියේ දිය නෑ එම ස්ථානය අනතුරුදායක බව පැහැදිලිව දැනුවත් කරනැති බවත් දිය නෑමට සුදුසු ස්ථානයක් ලෙසට වැවට බැසීම සඳහා පඩිපෙළ පවා සකස් කර ජනතාව නොමඟ යවා තිබෙන බවය.

එම ස්ථානයේ දිය නෑම අනතුරුදායක බවට නාමපුවරු ප්‍රදර්ශනය කර තිබෙන බව වාරිමාර්ග නිලධාරීන් ප්‍රකාශ කළත්, එහි පැහැදිලි ලෙස අනතුරුදායක බව සඳහන් කළ ප්‍රදර්ශන පුවරු දැකගැනීමට නොමැති නමුත් අකුරු මැකී ගිය කුඩා ප්‍රමාණයේ පුවරුවක් තිබූ බව පැවසූ විරෝධතාකරුවන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ගිරිතලාවැව ඇතුළු රජරට කලාපයේ සෑම වැවක් ආශ්‍රිතවම ජීවිතාරක්ෂක වැඩපිළිවෙළක් සකස් කර මෙවැනි අහිංසක ජීවිත තවදුරටත් බිලි නොදෙන්නට කටයුතු කරන ලෙසය.

ලංකාපුර - හෙන්රි, ලයනල්, හිඟුරක්ගොඩ - ප්‍රියා, පොළොන්නරුව - බණ්ඩාර මුදියන්සේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon