'එළියට' සහභාගි වී එන ගමනේදී වන අලි ප්‍රහාරයකින් පුද්ගලයකු මියගොස් අනෙක් පුද්ගලයාට බරපතළයි

  👤  3193 readers have read this article !
By mawbima 2018-09-24

පොළොන්නරුව - බණ්ඩාර මුදියන්සේ

පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේ පෙරේදා (22දා) සවස පැවැති 'එළිය' වැඩසටහනට සහභාගි වී ආපසු නිවෙස් බලා ගිය පුද්ගලයන් දෙදෙනකුට අරලගංවිල ගල්එළිය ප්‍රදේශයේදී එල්ල වූ වන අලි ප්‍රහාරයකින් එක් පුද්ගලයකු මිය ගොස් අනෙක් පුද්ගලයා බරපතළ තුවාල ලබා දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කර ඇතැයි අරලගංවිල පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ ගල්එළිය, වෙහෙරගල, අරලගංවිල ලිපිනයේ පදිංචිව සිටි ඩී.එම්. රත්නපාල (57) නම් පුද්ගලයෙකි. පොලිසිය පවසන අන්දමට පොළොන්නරුවේ දී පෙරේදා (22දා) සවස ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එළිය වැඩසටහනට සහභාගි වී බස් රථයෙන් ආපසු නිවෙස් බලා පැමිණි මෙම පුද්ගලයන් දෙදෙනා නිවෙස්වලට යන මාර්ගයේ බස් රථයෙන් බැස පයින් යමින් සිටියදී රාත්‍රි 8.30ට පමණ වන අලි ප්‍රහාරය එල්ල වී තිබේ.

තුවාල ලැබූ අනෙක් පුද්ගලයා වහාම දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් සමත් වී ඇති අතර තුවාලකරුගේ තත්ත්වය තරමක් බරපතළ බව රෝහලේ ආරංචි මාර්ග සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් අරලගංවිල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon