ධර්ම විනය විකෘති කිරීම ඉතාම භයානක තත්ත්වයක් ආගමට දහමට වන හානිය ගැන පෙන්වා දීම ජනමාධ්‍යයේ වගකීමක්-උඩරට අමරපුර නිකායේ මහ නායක නුවරඑළියේ චන්ද්‍රජෝති නාහිමි

  👤  3217 readers have read this article !
By mawbima 2018-09-24

බොරලන්ද - සමන් නැදුන්ගමුව

ධර්ම විනය විකෘති කිරීම ඉතාම භයානක තත්ත්වයක් බවත් ආගමට දහමට වන හානිය පිළිබඳව පෙන්වා දීම ජනමාධ්‍යයේ වගකීමක් බවත් ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාවේ උප සභාපති, උඩරට අමරපුර නිකායේ මහා නායක අතිපූජ්‍ය නුවරඑළියේ චන්ද්‍රජෝති නාහිමියෝ පැවැසූහ.

බෞද්ධ ශාසනය පිළිබඳව ඇතැම් පිරිස් විසින් පතුරුවන දුර්මත පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ වැඩිදුරටත් මෙසේද පැවැසූහ.

බුදුන් වහන්සේගේ පහළවීම පිළිබඳවත්, බුද්ධාගම පිළිබඳවත් දුර්මත ඇති කරන ඇතැම් හාමුදුරුවරු අපේ රටේ කිහිපනමක් ඉන්නවා. සමහර ඇත්තන් රහතන් වහන්සේ කියලත් කියනවා. බුදුහාමුදුරුවෝ ජේතවනාරාමයේ වැඩඉන්නකොටත් හිටියා බුද්ධාගම විකෘති කරන හාමුදුරුවරු. උගත්කම වෙනයි බුද්ධිමත්කම වෙනයි. සියලුම උගතුන් බුද්ධිමතුන් නෙවෙයි. ඉගෙනගත්ත අයත් දුර්මත ප්‍රචාරය කිරීම පිළිබඳව මම කනගාටු වෙනවා. තථාගතයන් වහන්සේ දඹදිව් තලයේ උප්පත්තිය ලැබූ බව මුළු ලෝකයම පිළිගන්නවා. ධර්ම විනය විකෘති කිරීම ඉතාම භයානකයි. සමහර අය කියනවා බුදුහාමුදුරුවෝ අභිධර්මය දේශනා කළේ නැහැ කියලා.

මේ අයගේ වචනවලින් ධර්මය විකෘති වෙනවා. පුද පූජා බුද්ධාගමට අයිති නැහැ කියලා තවත් සමහරු කියනවා. ගහක ඵලය, කොළ, මල් ඉවත් කළාම අරටුවක පැවැත්මක් නැහැ. ඒවගේ තමයි පුද පූජාවලින් තමයි මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා වෙන්නේ. ඒ නිසා මේ දුර්ධාන්ත මත, අවිනීත මත බැහැර කළ යුතුයි. මේ සම්බන්ධව මහ නායක හිමිවරුන්ගේ අවධානයත් දැන් යොමුවෙලා තියෙන්නේ. ඒ නිසා මා මතක් කරනවා ආගමට, සංස්කෘතියට ළැදි ජනමාධ්‍ය ආයතන මඟින් බුදු සසුනට වෙන හානිය පෙන්වා දීමේ වගකීම ඉටු කරන්න කියලා.

කනින්හැම් මහාචාර්යවරයා විසින් සාංචි ස්තූපයේ කැණීම් කරන කොට කරඬු තහඩුවක තිබිලා තියෙනවා කාශ්‍යප හාමුදුරුවෝ රහතන් වහන්සේ හිමාලයේ වැඩියා කියලා. මිහින්තලා සෙල් ලිපියේ සඳහන් කරලා තියෙනවා මිහිඳු මහ රහතන් වහන්සේ වැඩිය බව. රජගල සෙල් ලිපියේත් ඒක සටහන් කරලා තියෙනවා. සමහරු කියනවා

බුදුරාජණන් වහන්සේ පහළ වුණේ ලංකාවේ කියලා. සැවැත්නුවර කියන්නේ රිටිගල කියලා සමහරු හඳුන්වනවා. පොත්පත් ගහලා ලංකා සිතියම ලකුණු කරලා අමූලික බොරු සඳහන් කරනවා. සැවැත්නුවර ජේතවනාරාමයේ බුදුන් වහන්සේ වැඩ හිටියා. අදටත් නටබුන් තියෙනවා. ශිලා ලේඛනවලින් සඳහන් වන සිද්ධාන්ත. බුදුහාමුදුරුවෝ ලංකාවේ පහළ වුණා කිව්වොත් ඒ අය කියන්නේ දළදා වහන්සේගේ වැඩමවීම අසත්‍යයක් වෙනවා. ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ වැඩම වීම අසත්‍යයක් වෙනවා. නමුත් ශාන්ති තොරණේ සටහන් වෙලා තියෙනවා මූර්තිමත් වෙලා තියෙනවා සඟමිත් මහ තෙරණියන් වඩින බව දෙවැනි පෑතිස් රජු විසින් පිළිගත් බව. ඒ නිසා තථාගතයන් වහන්සේ පහළවීම දඹදිව තලයේ කියන එක සනාථ වූ සත්‍ය වූ සිද්ධියක්.

මා මතක් කරන්න කැමැතියි සමහර අතළොස්සක් දෙනෙක් සමාජ ජාල පවත්වාගෙන දුර්මත ප්‍රචාරය කරමින් ශාසනික සංකල්ප උඩු යටිකුරු කිරීමේ උත්සාහයක යෙදෙනවා. රජය තමයි තුන් පිටකය මුද්‍රණය කරන්නේ. ඒ සඳහා අනුග්‍රහය දක්වනවා. බුද්ධ ශාසන අමාත්‍යාංශයක් තියෙනවා. මේ සඳහා ක්‍රමවේදයක් සකසන්න තමයි දැන් භික්ෂු හැඳුනුම්පතක් සකසන්න යන්නේ. විශේෂයෙන්ම මෙම දුර්මතධාරීන් ගෝඨාභය රජ්ජුරුවන්ගේ කාලයේ කනිලජානුතිස්ස රජුගේ කාලයේ ශාසනයෙන් බැහැර කරපු සිද්ධීන් තියෙනවා. අපි මේ රජයට මහ සංඝරත්නය හැටියට ප්‍රශංසා කරනවා මේ වන කොට ත්‍රිපිටකය ජාතික උරුමයක් වශයෙන් නම් කිරීමට ගත් තීරණයට. මේ දුර්මත ප්‍රචාරය කරන අයට හසු නොවී ශාසනය රැකගැනීම උගත්, බුද්ධිමත් සියලුමදෙනාගේ වගකීමක් වන බවත් කියන්න ඕන.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon