කිරිපිටි නිෂ්පාදනය කරන බහුජාතික සමාගම්වලට විරුද්ධව කතා නොකරන දේශපාලනඥයන්ට ඡන්දය දෙන්න එපා-උෟව පළාත් කිරි ගොවි සමුළුව අමතමින් ඇමැති ගාමිණී විජිත් විජයමුනි සොයිසා කියයි

  👤  3250 readers have read this article !
By mawbima 2018-09-24

මොනරාගල - සංජීව බණ්ඩාර

දේශීය කිරි ගොවියා ආරක්ෂා කරමින් කිරි කර්මාන්තය දියුණු කරන විට බහු ජාතික සමාගම්වලින් හා එම සමාගම් හිමි රටවල තානාපති කාර්යාලවලින් තමන්ට විවිධ බලපෑම් එල්ල වෙමින් ඇතැයි ධීවර ජලජ සම්පත් හා ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය ගාමිණී විජිත් විජයමුනි සොයිසා මහතා පැවැසීය.
මෙරටට කිරිපිටි ආනයනය කිරීම සඳහා වාර්ෂිකව රුපියල් බිලියන හතළිහක් රජය වැය කරන බවත් ඒ මුදල රට තුළ ඉතිරි කර ගැනීමට හා කිරි ගොවියා ආරක්ෂා කර ගැනීමට වර්තමාන ආණ්ඩුව කටයුතු නොකිරීම තමන්ටද ගැටලුවක් බව ඇමැතිවරයා පැවැසීය.

ගම්පෙරළිය පෙම්පෙරළියක් බවත් එය නියම ගම්පෙරළියක් වීමට සෑම පවුලකටම කිරි ගවයන් දෙදෙනකු බැගින් ලබා දිය යුතු බව අමාත්‍ය ගාමිණී විජිත් විජයමුනි සොයිසා මහතා පෙන්වා දෙයි.
කිරිපිටි නිෂ්පාදනය කරන බහු ජාතික සමාගම්වලට විරුද්ධව කතා නොකරන, එම නිෂ්පාදන හෙළා නොදකින දේශපාලනඥයන්ට ඡන්දය නොදෙන ලෙසද ඇමැතිවරයා මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතා මේ අදහස් පළ කළේ මොනරාගල ප්‍රාදේශීය සභා පිටියේ පෙරේදා (22දා) පැවැති උෟව පළාත් කිරි ගොවි සමුළුව අමතමිනි.
උෟව පළාතේ කිරි ගොවියන් 2500 දෙනකු සහභාගි වූ උෟව පළාතේ කිරි ගොවි සමුළුවේදී අමාත්‍ය ගාමිණී විජිත් විජයමුනි සොයිසා මහතා මෙසේද පැවැසීය.

පසුගිය කාලය තුළ මිල්කෝ ආයතනය කඩා වට්ටන්න පිරිසක් කටයුතු කර තිබුණා. ඔවුන් මේ ආයතනයේ යන්ත්‍ර සූත්‍රවල තාක්ෂණික දෝෂ ඇති කළා. කළමනාකරණයේ ගැටලු ඇති කළා. හයිලන්ඩ් කිරි පැකට් ලක්ෂ 15ක් විනාශ වෙන්න ඇරියා. කිරි ගොවියන්ගෙන් මිලදී ගන්න කිරි ගංගා ඇළ ‍ෙදාළවලට හලලා දැම්මා. කිරි අපතේ දාන්න කර්මාන්තශාලාව තුළ වෙනම ටැංකි හදලා තිබුණා. එහෙම තිබුණ ආයතනය අපි නිවැරැදි මාර්ගයට අරන් රුපියල් මිලියන 27ක වාර්ෂික ආදායමක් ලැබූ මිල්කෝ ආයතනය මේ වන විට වසරකට රුපියල් බිලියනයක් උපයන ආයතනයක් බවට පත්කරලා තියෙනවා.

අපේ රටේ කිරි නිෂ්පාදනය වැඩි කිරීමට නම් අපි වාණිජමය ගොවිපොළවල් ඇති කළ යුතුයි. ඒ සඳහා උසස් තත්ත්වයේ කිරි දෙනුන් ලබාදී අපේ කිරි ගොවියන් ශක්තිමත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. දැනටමත් අපිට එවැනි කිරි දෙනුන් 1500ක් සඳහා ඉල්ලුම ලැබිලා තියෙනවා. උසස් කිරි දෙනුන් ලක්ෂයක් මෙරටට ගෙනත් අපි කර්මාන්තය දියුණු කළොත් අපිට පිටරටවලින් කිරිපිටි ගෙන්වන එක සම්පූර්ණයෙන්ම නතර කළ හැකියි.


පසුගිය දවසක මෙරටට කිරිපිටි ගෙන්වා බහුජාතික සමාගම් දෙකක ප්‍රධානීන් මාව මුණගැහෙන්න ආවා. ඇවිත් කිව්වා ඔවුන්ගේ ෆැක්ටරිය බලලා කෑම වේලක් කාලා සන්තෝෂයෙන් යන්න එන්න කිව්වා. මාව හොඳට බලා ගන්නවා කියලත් ඔවුන් කිව්වා. අපි සර්ගේ අවුරුදු උත්සව සියල්ල කරලා දෙන්නම් කියලත් කිව්වා. මේ සමාගම් මට පුදුම ආදරයක් තියෙන්නේ. මම ඔවුන්ව හරවලා යැව්වා. ඊට පස්සේ ඉන්දියාවේ තියෙන නවසීලන්ත තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මාව මුණගැහෙන්න ආවා. මම ඔවුන්ට කිව්වා ඔබලා ඔබලාගේ සමාගමට ආදරේ වගේම මම අපේ රටේ දරුවන්ට සහ මවුවරුන්ට ආදරෙයි කියලා. ඊට පස්සේ ඔවුන් මට කතා කළා නවසීලන්තයට යන්න. මම ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. ඒ තානාපති නිලධාරීන් පිරිස පිටත්කරලා ඇරියා. මම ඔවුන්ගේ ඉල්ලීම පිළිඅරන් නවසීලන්තයට ගියා නම් සෝම හාමුදුරුවන්ට වෙච්ච දෙය මටත් වෙන්න තිබුණා.


මෙම උෟව පළාත් කිරි ගොවි සමුළුවේදී උෟව පළාත් සභා මන්ත්‍රි කුඩා බණ්ඩාර මාදවෙල මහතාද අදහස් දැක්වීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon