විමල්ට හා ප්‍රසන්නට පාර්ලිමේන්තුව තහනම් කිරීමේ තිරය පිටුපස මෙහෙයුම

  👤  3218 readers have read this article !
By mawbima 2018-09-24

ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දෙදෙනකුට මැති සභයට පමණක් නොව පාර්ලිමේන්තු සංකීර්ණය පිහිටි භූමියට ඇතුළුවීමද තහනම් කෙරුණු නියෝගයක් පසුගිය සිකුරාදා ලබාදුන්නේ කරු ජයසූරිය කථානායකවරයා විසිනි.

ඒකාබද්ධ විපක්‍ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණවීරට සහ ඒකාබද්ධ විපක්‍ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශට මෙසේ තාවකාලිකව පාර්ලිමේන්තුව සේවා තහනම් කෙරිණි.
සභානායක, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල විසින් මෙම තහනම් කිරීමට අදාළ යෝජනාව මැති සභයට ඉදිරිපත් කළ අතර ඊට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු නැඟී සිටියහ.
චකණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, විරෝධතාව ප්‍රකාශ කරමින් මෙම යෝජනාවට එරෙහිව ඡන්දයක් ඉල්ලා සිටියහ.

ඡන්දයක් ඉල්ලා සිටියද එම යෝජනාව පරාජය කිරීමට තරම් ඡන්ද සංඛ්‍යාවක් එම අවස්ථාවේ නොතිබුණේ ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් එදින වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට නොපැමිණි නිසාය.
නමුත් ඊට වඩා ආණ්ඩු පාර්ශ්වයේ එදින සිටින ප්‍රමාණය වැඩි බව දන්නා ලක්‍ෂ්මන් කිරිඇල්ල වේලාව බලා යෝජනාව මැති සබයට ඉදිරිපත් කළේය.

ඒකාබද්ධ විපක්‍ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණවීරට සති 4ක් සහ ඒකාබද්ධ විපක්‍ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශට සති 2ක කාලයක් රැස්වීම්වලට සහභාගිවීම ඇතුළු පාර්ලිමේන්තු සේවය තහනම් කිරීමේ යෝජනා දෙක පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.

පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණවීරට සති 4ක කාලයක් පාර්ලිමේන්තු සේවය තහනම් කිරීමේ යෝජනාව වැඩි ඡන්ද 20කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය.
යෝජනාවට පක්‍ෂව ඡන්ද 41ක් හිමිවූ අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 21ක් පමණි.

පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශට සති 2ක් පාර්ලිමේන්තු සේවය තහනම් කිරීමේ යෝජනාවාට පක්‍ෂව ඡන්ද 39ක් ලැබුණු අතර එම යෝජනාවට විරුද්ධව ඡන්ද 21ක් හිමිවිය.
ජූලි මස 03 වැනිදා පාර්ලිමේන්තුවේ රැස්වීම් පැවැත්වෙන විට සෙංකෝලය පැහැර ගෙන යෑමට උත්සාහ කිරීමේ චෝදනාව ප්‍රසන්න රණවීරට එල්ල වී තිබුණු අතර එදිනම අශෝභන ලෙස කතාකිරීම යන චෝදනාව විමල් වීරවංශට එල්ල වී තිබිණි.

මෙම චෝදනා සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළ අතර ඉන් අනතුරුව අමාත්‍ය තිලක් මාරපනගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව විසින් මේ ගැන පරීක්‍ෂණයක් පවත්වන ලදී.

එම පරීක්‍ෂණ වාර්තාව වරප්‍රසාද කමිටුව මඟින් සැප්තැම්බර් 05 වැනිදා කථානායක කරු ජයසූරියයට භාරදුන් අතර එම වාර්තාවේ ඇතුළත් සන්දේශවලට අදාළ යෝජනාව සභානායක අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
එම යෝජනාව ඉදිරිපත් කරන විට ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු විරෝධය දක්වා එම යෝජනාවට එරෙහිව ඡන්ද විමසීමක් ඉල්ලා සිටියහ.

මෙම ඡන්ද විමසීමේදී දෙමළ ජාතික සන්ධානය යෝජනාවට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ඡන්දය විමසන අවස්ථාවේදී මැති සබය තුළ නොසිටියහ.
ඒ අනුව සති 4ක කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණවීරටත්, සති 2ක කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශටත් පාර්ලිමේන්තු පරිශ්‍රයට ඇතුළුවීමටවත් නොහැකි වනු ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ නව ආචාර ධර්ම පද්ධතියේ 77 (1) වගන්තිය යටතේ වරප්‍රසාද කමිටුව මඟින් මෙම තීරණය ගෙන තිබේ.

අමාත්‍ය තිලක් මාරපනගේ ප්‍රධානත්වයෙන් යුත් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, අමාත්‍ය ගයන්ත කරුණාතිලක, අමාත්‍ය මනෝ ගනේෂන්, අමාත්‍ය ෆයිසර් මුස්තාපා, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන සුසිල් ප්‍රේම්ජයන්ත්, ඩග්ලස් දේවානන්දා, අනුර කුමාර දිසානායක, එස්. සරවනභවන්, ස්කන්ධ රාජා අයත් වෙති.

හිටපු ළමා හා කාන්තා රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් යාපනයේදී කොටි සංවිධානයට හිතවාදී හා දිරිගැන්වෙන ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් විජයකලා මහේෂ්වරන්ට එරෙහිව පියවර ගන්නා ලෙසට කථානායක කරු ජයසූරියගෙන් ඉල්ලීමක් කරමින් ජූලි 03 වැනිදා ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් මැතිසබයට පැමිණ කළ විරෝධතාව අතරතුරදී මෙම මන්ත්‍රිවරුන් දෙදෙනාට චෝදනාව එල්ල වුණු සිද්ධි ඇතිවූ බව වාර්තා වේ.
පාර්ලිමේන්තුවේ සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා අදාළ යෝජනා දෙක මැති සබයට ඉදිරිපත් කරන විට සිටියේ එම චෝදනාවලට අදාළ එක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු පමණි. ඒ ප්‍රසන්න රණවීර මන්ත්‍රිවරයායි. විමල් වීරවංශ මන්ත්‍රිවරයා එම අවස්ථාවේදී මැති සබය තුළ නොසිටියේය.

කෙසේ නමුත් තමාගේ නම යෝජනා කරන අවස්ථාවේදී ප්‍රසන්න රණවීර මන්ත්‍රිවරයා නැඟී සිටිමින් රීති ප්‍රශ්නයක් මතු කිරීමට සූදානම් විය.

නමුත් මූලාසනයේ සිටි කථානායකවරයාගෙන් ඊට ඉඩක් නොලැබිණි. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට පනවා තිබෙන නව ආචාරධර්ම පද්ධතිය ඊට හේතුවයි. මීට පෙර තිබුණේ නම් පාර්ලිමේන්තුවේ ජනතා නියෝජිතයකුට පාර්ලිමේන්තුව තහනම් කෙරුණත් ඊට පසුදින සිට එය ක්‍රියාත්මක වීමයි. නමුත් නව ආචාර ධර්ම පද්ධතිය යටතේ මන්ත්‍රිවරයකුට පාර්ලිමේන්තුව තහනම් කළහොත් එය දැනුම්දුන් මොහොතේ සිට එය ක්‍රියාත්මක වේ. ප්‍රසන්න රණවීරට රීති ප්‍රශ්නයක් මතු කරමින් ප්‍රකාශයක් සිදුකිරීමට කථානායකවරයා අවස්ථාව ලබා නොදුන්නේ එම නිසාය.

කෙසේ නමුත් තමාට ප්‍රකාශයක් සිදුකිරීම සඳහා මයික්‍රෆෝනය ලබා නොදුන්නද ප්‍රසන්න රණවීර තමාට ලබාදුන් තීන්දුවට කෑගසමින් විරෝධය පළ කෙළේය.
'තමාට දැන් මැති සභයේ රැඳී ඉන්න බැහැ. ඊළඟ පාර්ලිමේන්තු සභාවාරයත් අහිමි වෙනවා' යනුවෙන් කරු ජයසූරිය කථානායකවරයා ප්‍රකාශ කෙළේය. මේ සමඟම පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රන්නාදු සහ සහකාර වේත්‍රධාරියකු ප්‍රසන්න රණවීර සිටින විපක්‍ෂයේ පසුපෙළ ආසන පෙළ වෙත වේගයෙන් පැමිණෙන්නට වූහ.
'කොටින්ගේ සහායට කතා කරපු විජයකලා තාමත් පාර්ලිමේන්තුව ඇතුළේ. විජයකලාට විරුද්ධව පියවර ගන්න කියලා ඉල්ලපු අපි එළියේ. මේකට තමයි කියන්නේ විත්තිය ගෙදර ගිහින්, පැමිණිල්ල හිරේ ගිහින්' යනුවෙන් ප්‍රසන්න රණවීර කෑගැසුවේය.
තවත් ගැටලු ඇතිකර ගැනීමට උත්සාහ ගන්න එපා' කථානායකවරයා අවවාදාත්මක ස්වරූපයෙන් ප්‍රසන්න රණවීරට ප්‍රකාශ කෙළේය.
මේ අවස්ථාවේදී ඒකාබද්ධ විපක්‍ෂයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කංචන විජේසේකර ප්‍රසන්න රණවීර අසලට කිට්ටු විය.
ප්‍රසන්න අයියේ අපි දැන් එළියට යමු. ඊට පස්සේ කරන්න ඕන දේවල් ප්ලෑන් කරමු' කංචන විජේසේකර ප්‍රසන්න රණවීරගේ පිටට තට්ටුවක් දමමින් ඔහු අස්වසමින් පැවැසුවේය.
ඉන් අනතුරුව ප්‍රසන්න රණවීර මන්ත්‍රිවරයා මැති සබයෙන් පිටතට ගොස් පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටව ගියේය.

මේ අතර මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවට පැමිණියේය. හිටපු ජනතා නියෝජිතයන් වන අභාවප්‍රාප්ත මංගල මුණසිංහ, එච්.එම්. උපතිස්ස සිල්වා, එම්. තිලකරත්න යන ජනතා නියෝජිතයන් වෙනුවෙන් මැති සබයේ සොව පළවූ අතර මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා පැමිණ මෙම ජනතා නියෝජිතයන් තිදෙනාම වෙනුවෙන් සොව පළ කරමින් අදහස් දැක්වූයේය.
නඩුව විභාගවී අවසන් වනතුරු රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටින ඒකාබද්ධ විපක්‍ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය. විපක්‍ෂයේ මෙන්ම ආණ්ඩු පක්‍ෂයේ ජනතා නියෝජිතයෝද ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ දුකසැප විමසීමට අමතක නොකළහ.

විපක්‍ෂයේ මන්ත්‍රි ආලින්දයේදී මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාට ජොන්ස්ටන් ප්‍රනාන්දු මුණගැසුණේය.
එම ස්ථානයේ තිබූ ආසන දෙකක වාඩිවී දෙදෙනා බර කතාවකට මුල පිරූහ.

තමන්ගෙන් වර්තමාන ආණ්ඩුව දිගින් දිගටම පළිගන්නා ආකාරය පිළිබඳ ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කරන ලදී.
මෙම නඩුව සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග හා නීති උපදෙස් ගැන මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා යම් යම් කාරණා ප්‍රකශ කළේය.
පැයකට පමණ ආසන්න වේලාවක් එම දෙදෙනා අතර පමණක් මෙම සාකච්ඡාව සිදුවූහ.

මේ අතර පසුගිය සිකුරාදා උදෑසන කරු ජයසූරිය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ආරම්භ වනවිටම උණුසුම් අදහස් හුවමාරුවීමක් සිදුවිය.
සීනි බද්ද ගෙන්වන ලද පරණ සීනි තොගයකටද පනවා තිබෙන කතාබහක් ගැන බන්දුල ගුණවර්ධන ප්‍රකාශයක් කිරීම සහ මැති සබය තුළ මෙම උණුසුම්කාරී තත්ත්වය ඇති විය.
මීට පිළිතුරු ලබාදීමට නැඟී සිටියේ සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාය.

'ඊයේ මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට සහතික වුණා, සීනිවලට බද්දක් අය කරන්නේ නැහැ කියලා.'

එම ප්‍රතිචාරය බන්දුල ගුණවර්ධන පිළිනොගත් අතර ඔහු වේගයෙන් යමක් ප්‍රකාශ කළද එය පැහැදිලි නොවීය.

'පසුගිය ආණ්ඩුව කාලෙදි මුදල් අමාත්‍යාංශයේ හිටිය මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා එක දවසක්වත් පාර්ලිමේන්තුවට ආවේ නැහැ' යනුවෙන් ලක්‍ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
'මෙතුමා මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමා පාර්ලිමේන්තු ආවේ නැහැලු. පරිසර ඇමැතිතුමා විදියට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා එක දවසක්වත් පාර්ලිමේන්තුවට ආවාද?' යනුවෙන් වහාම ලක්‍ෂ්මන් කිරිඇල්ලට ප්‍රතිචාර දක්වමින් ප්‍රශ්න කළේ නාමල් රාජපක්‍ෂ විසිනි.

මේ අතර පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයක් පැවැත්විණි.
යෝජනාව ඉදිරිපත් කළේ ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කංචන විජේසේකරය.
පිළිතුරු කතාව කළ පළාත් සභා හා පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා කීවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ජය පරාජය දෙකේම වගකීම තමන් භාරගන්නා බවයි.
'ක්‍රිකට් ක්‍රීඩාවේ ජයග්‍රහණ වගේම පරාජයවල වගකීමත් මං භාර ගන්නවා. මැච් පරදිනකොට ඇමැතිට ඕන තරම් ගහන්න. ඒත් අහිංසක ක්‍රීඩකයන්ට ගහන්න එපා' යනුවෙන් ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා විසින් ඉල්ලීමක් කරන ලදී.

මේ අතර සාමාන්‍යයෙන් දේශපාලනයේ එතරම් දක්නට නොලැබෙන ආදර්ශයක් ෆයිසර් මුස්තාපා එදින ප්‍රදර්ශනය කළේය.
ශ්‍රී ලංකා ජාතික නෙට්බෝල් කණ්ඩායම ආසියානු ශූරතාව දිනාගැනීම ගැන රටේම ගෞරවය හිමිවිය යුතු බව ප්‍රකාශ කළ ෆයිසර් මුස්තාපා එහි ගෞරවය හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරට හිමිවිය යුතු බව පෙන්වා දුන්නේය.

'අපේ නෙට්බෝල් ටීම් එක ඔය මට්ටමට ගෙනාවේ දයාසිරි ජයසේකර හිටපු ඇමැතිතුමා. ඔහුට එම ගෞරවය හිමිවිය යුතුයි' යනුවෙන් ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා ප්‍රකාශ කෙළේ දේශපාලනයේ එතරම් දක්නට නොලැබෙන මහත්මා ලීලාව ප්‍රදර්ශනය කරමිනි.
ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ නායක දිනේෂ් ගුණවර්ධනට පසුගිය සිකුරාදා පාර්ලිමේන්තු සංකීර්ණයේ බිම් මහලේදී එක්සත් ජාතික පක්‍ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චතුර සේනාරත්න මුණගැසුණේය.

චතුරගේ විවාහ දිවියට සුබ පැතීමටද දිනේෂ් අමතක නොකළේය.

ඊළඟ ජනාධිපතිවරණයට අපි පොදු අපේකෂකයෙක් සොයනවා. ඔබතුමා ඒකට ඉතා සුදුසුයි. පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වෙන්න පුළුවන්ද?' චතුර සේනාරත්න විසින් දිනේෂ් ගුණවර්ධනට යෝජනා කරන ලදී.


'තාත්තාගේ පුතා විදියට ඔයාට දැන් දෙවැනි ඉනිම ආරම්භ කරන්න පුළුවන්' දිනේෂ් ගුණවර්ධන එසේ දැක්වූ ප්‍රතිචාරයට සියල්ලෝම සිනහසුණහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon