ජනතාවට මුරුංගා කොළ තම්බන් කන්න වෙන තරමට ආණ්ඩුව හිඟමනට වැටිලා නෑ

  👤  3261 readers have read this article !
By mawbima 2018-09-24

අනුරාධපුර, කහටගස්දිගිලිය, ගලෙන්බිඳුණුවැව ගම්මානයක පවුලක් බත් නැතිව දවස් කිහිපයක් මුරුංගා කොළ තම්බාගෙන කාලා ජීවත් වෙනවා කියලා පත්තරේ වාර්තාවක් මම දැක්කා. මේ විදියට වෙන්න දෙන්න බෑ. දිස්ත්‍රික්කයේ ඉන්න මැති ඇමැතිවරුන්, රාජ්‍ය නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන්, පළාත් සභා, ප්‍රාදේශීය සභාවේ සභාපතිවරු, මන්ත්‍රිවරු මේ හැමෝම මේ පිළිබඳව අවබෝධයෙන් ඉන්න ඕනෑ. මම කනගාටු වෙනවා මේ ගැන. මම ජනාධිපතිවරයා විදියට ඒ ගැන දැඩි සංවේගයට පත්වෙනවා යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවැසීය.

ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ පසුගියදා මහවිලච්චිය දුණුමඩලාව නබඩගස්දිගිලිය වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරමින් එල්ලංගා පද්ධති ප්‍රතිසංස්කරණ ජාතික වැඩසටහනට සහභාගි වෙමින් පැමිණ සිටි ජනතාව අමතමිනි.

ජනාධිපතිවරයා තවදුරටත් මෙසේද පැවැසීය.

ජනතාව මේ විදියට දුක් විඳිනවා නම් මේ වැරැද්දට අපි හැම කෙනාම වගකිව යුතුයි. මේක නම් ගම්මානවල තත්ත්වය මං දැඩි කනගාටුව ප්‍රකාශ කරනවා. මේ විදියට ජනතාව බඩගින්නේ තියන්න තරම් ආණ්ඩුව හිඟමනට වැටිලා නෑ. අපි ආණ්ඩුව විදියට මේ තත්ත්වය තේරුම් ගැනීම අවශ්‍යයි. ත්‍රිවිධ හමුදාව සංවර්ධන කටයුතු රාශියක් කරනවා. මේ ජනතාව විඳින දුක්ඛිත තත්ත්වයෙන් බේරාගන්න සෑම කෙනෙක්ම මීට වඩා සොයා බලා ගම්වලට ගිහින් ගෙවල්වල මිනිස්සු එක්ක කතා කරලා වැඩ කරන්න. වාහනවලින් බැහැලා ගෙවල් ඇතුළේ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද, කන්නෙ කොහොමද, අඳින්නේ කොහොමද, ලෙඩට දුකට බෙහෙත් ගන්න සල්ලි තියෙනවාද, බස් එකේ ගිහින් ඉස්පිරිතාලෙකින් බෙහෙත් ගන්න සල්ලි තියෙනවාද කියලා බලන්න. මේවට විසඳුම් නැතිව නෙවෙයි. තිබෙන සම්පත්වලින් අපිට වැඩ කරන්නට පුළුවන්.
දැන් මේ නියඟය එක්ක සහනාධාර වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් යනවා.

ආහාර, වතුර ටැංකි, ගම්මානවල සුබසාධන කටයුතුවලට කෝටි 1500ක් වියදම් කරලා තියෙනවා. තමුන්නාන්සේලා වගේ නියඟයෙන් අසරණ වෙච්චි පිරිස මේ වන විට 4,92,000ක් වෙනවා. මේ අයට සහනාධාර දෙන්න මිලියන නවදාහක් අපි වෙන් කරලා තියෙනවා. මේ නිසා ආණ්ඩුවක් විදියටත් අපි උපරිම ලෙස ඒ කටයුතු ඉෂ්ට කරනවා. මේවාට කෙටිකාලීන විසඳුම්, මධ්‍ය කාලීන විසඳුම්, දීර්ඝ කාලීන විසඳුම් අවශ්‍යයි.

අපි කොහොමද දුප්පත්කම නැති කරගන්නෙ. අපේ රටේ ප්‍රබල මානව සම්පත් හිඟයක් තිබෙනවා. ආණ්ඩුව සල්ලි වියදම් කරලා බිහි කර ගන්න වෛද්‍යවරුන්, ඉන්ජිනේරුවන්, නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන ඔවුන්ගේ දරුවන්ට උගන්වන්න මේ රට හැර යනවා. ඒ ඔක්කොම සාධාරණයි. නමුත් රට ගැන හිතන්න ඕනෑ. අපේ සම්පත් වෙන රටවලට ගියාම අපිට සම්පත් හිඟයක් ඇති වෙනවා.
රජවරු රාජ්‍යයත්් සමඟ මුළු රටම පාලනය කළේ මේ ප්‍රදේශවල තිබූ සශ්‍රීකත්වය මුල්කරගෙන. ඒ නිසා තමයි වැව් බැඳි රාජ්‍යයක් විදියට අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල මේ ප්‍රදේශ නම් වුණේ.
දැන් අවුරුදු තුනක් තිස්සේ නියඟයක් පවතිනවා.

මේ නියඟය තිබෙන්නේ අපට විතරක් නෙවෙයි. ළඟම රට ඉන්දියාවෙත්, පාකිස්තානයේ කරච්චි ප්‍රදේශයෙත් මෙවැනි තත්ත්ව ඇති වෙනවා. ලෝකයේ සෑම රටකම කාලගුණ විපර්සාය නිසා මිනිසුන්ට වගේම සියලුම සත්ත්වයට ගහකොළටත් මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙනවා. මේ පරිවර්තනයට වගකියන්න ඕනෑ මිනිස්සුමයි.

ගස් කපලා, කැලෑ ගිනි තියලා, කැලෑ වනසලා, පස් කපලා, වැලි ගොඩ දාලා, ගල් පර්වත කඩලා, මේ පුංචි භූමිය කොච්චර විනාශ කරලා තියෙනවාද. විද්‍යාඥයන් පසුගිය දසක කීපය තුළ ලෝකයේ කරන හොඳ වැඩවලින් නරක ප්‍රතිඵලත් මිනිසාට විඳින්න වෙලා තිබෙනවා. පරිසර සංරක්ෂණය පිළිබඳව, කාලගුණය, දේශගුණය පිළිබඳව විද්‍යාඥයන් කතා කළේ මෑත අවුරුදු විසිපහක කාලය ඉඳන්. ඊට කලින් කතා කළේ නෑ. දැන් අවුරුදු තුනකට කලින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැරිසියේදී සියලු රාජ්‍ය නායකයන් රැස්වෙලා බැන්කි මූන් ප්‍රඥප්තිය අස්සන් කරලා ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීමට තීරණ ගත්තා. අපියි ඒකට දකුණු ආසියාවෙන් පළමුව අස්සන් කළේ.

තමුන්නාන්සේලා කලබල වෙන්න එපා විද්‍යාඥයන් කියලා තියෙන අනාවැකි අනුව සමහර විට අනාගතේ ඇතැම්විට මේ ප්‍රදේශවලින් ජලය තිබෙන ස්ථානවලට මේ ජනතාව ගෙනියන්න වෙයිද දන්නෑ. මම නෙවෙයි කියන්නේ විද්‍යාඥයන් කියන්නේ. ලෝකයේ කාලගුණයෙන් පීඩා විඳින රටවල් අතර ශ්‍රී ලංකාව අංක හතරට ඉන්න බව අලුත්ම වාර්තාවල සඳහන් වෙනවා.
ඇලයාපත්තුව - කුමාර වන්නිනායක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon