කලින් දුන් තීන්දුව ස්ථිර වේ සයිටම් සිසුවියට වෛද්‍ය සභාවෙන් ලක්ෂයක වන්දියක්

  👤  3508 readers have read this article !
By mawbima 2018-09-23

කේ.එස්. උදයකුමාර්

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරි සිසුවියක් ලියාපදිංචි කරන මෙන් ඉකුත් 2017 වසරේදී අභියාචනාධිකරණය මඟින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට දුන් නියෝගයක් පෙරේදා දින (21දා) ස්ථිර කළ ශේ‍ර්ෂ්ඨාධිකරණය එම සිසුවිය ලියාපදිංචි කිරීම ප්‍රමාදකිරීම තුළින් ඇයට සිදු වූ අගතිය වෙනුවෙන් රුපියල් ලක්ෂයක වන්දියක් පෙත්සම්කාරියට ගෙවන මෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියම කරන ලදී.
2017 වසරේදී අභියාචනාධිකරණය දුන් එම තීන්දුවට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මඟින් ගොනු කළ අභියාචනා පෙත්සමක් ප්‍රතික්ෂේප කරමින් ඊවා වනසුන්දර මහත්මිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් මෙම නියෝගය ලබා දුන්නේය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා වෛද්‍ය පනතේ 29 (2) වගන්තිය ප්‍රකාරව සයිටම් ආයතනයෙන් වෛද්‍ය උපාධිය ලබාගත් පෙත්සම්කාර වෛද්‍ය සිසුවියට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීම සඳහා නීතිමය හිමිකමක් පවතින බවයි.

ඒ අනුව 2017 වසරේ ජනවාරි මස 31 වැනිදා පෙත්සම්කාර සිසුවිය ලියාපදිංචි කරන මෙන් අභියාචනාධිකරණය විසින් දුන් නියෝගය නීත්‍යනුකූල යැයි සඳහන් කළ ප්‍රසන්න ජයවර්ධන විනිසුරුවරයා, අභියාචනාධිකරණ නියෝගය ප්‍රකාරව අදාළ සිසුවිය ලියාපදිංචි කිරීම පමා කිරීම තුළින් සිදුවූ අගතිය වෙනුවෙන් ඇයට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන මෙන්ද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝග කළේය.
මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබාගත් තමන්ව සීමාවාසික පුහුණුව සඳහා ලියාපදිංචි කිරීම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මඟින් ප්‍රතික්ෂේප කර ඇති බවට චෝදනා කරමින් එම වෙද විදුහලේ දිල්මි සූරියආරච්චි නමැති සිසුවිය විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.

එම පෙත්සම පිළිබඳ විභාගයක් පැවැත්වූ අභියාචනාධිකරණය විසින් 2017 වසරේ ජනවාරි මස 31 වැනිදා තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් මාලඹෙ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබාගත් අදාළ සිසුවිය ලියාපදිංචි කරන මෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝගයක් නිකුත් කර තිබිණි.

එම නියෝගය අහෝසි කරන මෙන් ඉල්ලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මඟින් ශේ‍ර්ෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර තිබුණේ මාලඹෙ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිය නිසි ප්‍රමිතියකින් යුක්ත නොවන බැවින් එම උපාධි ලබා ගන්නා සිසුන් ලියාපදිංචි කිරීමට තමන්ට නොහැකි බවයි.

ඒ අනුව 2017 වසරේ ජනවාරි මස 31 වැනිදා අභියාචනාධිකරණය මඟින් දුන් තීන්දුව අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මඟින් ශේ‍ර්ෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ එම අභියාචනයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබිණි.

මෙහිදී ශ්‍රී ලංකා වෛද්‍යසභාව වෙනුවෙන් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා පෙනී සිටියේය.

සයිටම් ආයතනයේ පෙත්සම්කාර වෛද්‍ය සිසුවිය වෙනුවෙන් නීතිඥ සුගත් කල්දේරා මහතා සමඟ ජනාධිපති නීතිඥ රෝමේෂ් ද සිල්වා මහතා පෙනී සිටි අතර සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා පෙනී සිටියේය.

සෞඛ්‍ය අමාත්‍යවරයා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් සංජය රාජරත්නම් මහතා පෙනී සිටි අතර මෙම නඩුවට මැදිහත් වී කරුණු දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා පෙනී සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon