ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයෙන් ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක්

  👤  3177 readers have read this article !
By mawbima 2018-09-23

මාධ්‍ය නිදහස සහ සමාජ වගකීම මැයෙන් වූ කොළඹ ප්‍රකාශනයේ විසිවැනි (20) සංවත්සරය නිමිත්තෙන් රටවල් නවයක නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් මෙම සැප්තැම්බර් 27 දින සිට 30 දක්වා සිවුදින ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය, එහි පාර්ශ්වකරුවන්, යුනෙස්කෝ සංවිධානය සහ නෝර්වේ තානාපති කාර්යාලය සමඟ එක්ව සියලු කටයුතු සූදානම් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඇති කළ තොරතුරු වෙත ප්‍රවේශවීමේ ජාත්‍යන්තර දිනය සැමරීම ද එම සම්මන්ත්‍රණයට ඇතුළත් වේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සැප්. 27 දින සම්මන්ත්‍රණය නිල වශයෙන් විවෘත කිරීමට නියමිතය. තොරතුරු වෙත ප්‍රවේශවීමේ ජාත්‍යන්තර දිනයේදී (28) කථානායක කරු ජයසූරිය මෙන්ම තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපති මහින්ද ගම්මන්පිල මහත්වරුන් සම්මන්ත්‍රණය ඇමැතීමට නියමිතය.

මෙරට පුවත්පත් ප්‍රකාශකයන්, කර්තෘවරුන්, ජනමාධ්‍යවේදීන් මෙන්ම ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, කැනඩාව, චීනය, ජර්මනිය, ඉන්දියාව, නෝර්වේ, පාකිස්තානය සහ මහා බි්‍රතාන්‍ය යන රටවල නියෝජිතයන් සහභාගි වන මෙම සම්මන්ත්‍රණයේ සැසි කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් සහ ගල්කිස්ස මහ හෝටලයේදී පැවැත්වේ.

සිවු වැනි දිනයේ දිවා කාලයෙන් අවසන් වන මෙම ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේදී 1998 කොළඹ ප්‍රකාශනයට ඇතුළත් වන ජනමාධ්‍ය නියාමනය, මහජන සේවය සහ පෞද්ගලික ගුවන්විදුලි මෙන්ම තොරතුරු වෙත ප්‍රවේශවීමේ ජාත්‍යන්තර දිනය සැමරීම වෙනුවෙන් වැඩසටහනක් සහ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් සහ ඉදිරි ගමන්මඟ, සත්‍ය සහ විශ්වාසය, බොරු ප්‍රවෘත්ති සහ ජනමාධ්‍ය විශ්වසනීයත්වය අධිකරණයට අපහාස කිරීම, පුහුණුව සහ අනාගතයට සූදානම් කිරීම මැයෙන් වූ මාතෘකා යටතේ සැසි 12ක් පැවැත්වේ.

අවසන් දිනයේදී කොළඹ ප්‍රකාශනයේ ජයග්‍රහණ දෙස අවධානය යොමු කිරීමට නියමිත අතර ඒ පිළිබඳ සමාලෝචනයක් කර අනාගත ගමන්මඟ සැලසුම් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා කර්තෘ සංසදය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා පුවත්පත් ප්‍රකාශකයන්ගේ සංගමය, ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම, ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලය, ජගත් පුවත්පත් සහ පුවත්පත් හිමිකරුවන්ගේ සම්මේලනය, පොදු රාජ්‍ය මණ්ඩලීය පුවත්පත් සංගමය සහ ජාත්‍යන්තර පුවත්පත් ආයතනය යනාදී ජනමාධ්‍ය කර්මාන්තයේ සැදුම්ලත් සංවිධාන මෙම ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට සහයෝගය දක්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon