නෙළුම් පොකුණ රඟහලට සතුරු ප්‍රහාරයක්

  👤  3697 readers have read this article !
By mawbima 2018-09-23

වෙනදාට වඩා කොළඹ හතේ නෙලුම් පොකුණ මාවතේ ආරක්ෂක රැකවරණ තර කොට ඇත. නවීන අවි ආයුධ සහිතව සිටි මේ කමාන්ඩෝ සෙබළුන් සිටින්නේ ඕනෑම ප්‍රතිවාදී ප්‍රහාරයකට මුහුණ දීමට හැකි සූදානමකිනි.
'මොකක්ද මේ සීන් එක' මොකක් හරි කලබලයක්ද?' 'වයෝවෘද්ධ මිනිසකු තවත් කෙනකුගෙන් ප්‍රශ්න කරනු අපට ඇසුණි.

'අනේ මන්දා... නෙලුම් පොකුණේ වැඩ කරන අයව පාතාලයේ එවුන්ද කොහේද අල්ලාගෙන හිරකරගෙන ඉන්නවාලු' ඒ අයව බේරාගන්න හමුදාව ඇවිත්. ඒ අනෙකාගේ පිළිතුරය.

හැබෑවටම නෙලුම් පොකුණ රඟහල පරිශ්‍රයේ ඇත්තේ දැන් එවැනි වටපිටාවකි. අති විශාල කමාන්ඩෝ භට පිරිසක් තැන් තැන්වල කණ්ඩාම් වශයෙන් සීරුවෙන් සිටින බව අප දුටුවෙමු.

කුතුහලය පිරි උනන්දුව නිසාම අප නෙලුම් පොකුණ පරිශ්‍රයේ පැත්තකට වී ඊළඟ නිමේෂයේ සිදුවන දෑ පිළිබඳ උනන්දු වූයෙමු. ගත වූයේ මොහොතකි. එක් වරම කළු පැහැති ඇඳුමකින් සැරැසුණු, නවීන යුද අවිවලින් සන්නද්ධ වූ හමුදා බළඇණි දෙකක් නෙලුම් පොකුණේ ඉදිරිපස ‍ෙදාරටුවෙන් ඇතුළු වූයේ ආරක්ෂක ක්‍රමෝපායන් අනුගමනය කරමිනි. ඒ සමඟම තවත් හමුදා බළඇණි දෙකක් කළු පැහැති ට්‍රක් රථ දෙකකින් එම පරිශ්‍රයට ඇතුළු විය. මේ හමුදා කමාන්ඩෝ බළඇණිවලට සාපේක්ෂව ඉහළ අහසේ පෙනෙන්නට තිබුණේ ගුවන් හමුදා හෙලිකොප්ටරයකි. එම හෙලිකොප්ටරය නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ වහලය මුදුනේ නතර විය.
'අන්න ආමි එක වහලට බහිනවා.'

ඒ පාසල් කොලු ගැටයකුගේ කටහඬය.

'නෙලුම් පොකුණ පරිශ්‍රයෙ සිදුවන මේ හමුදා මෙහෙයුම එහෙම නැත්නම් ක්‍රියාන්විතය ගැන කිසිවක් නොදන්නා පිටස්තරයකුට ඇත්තේ බලවත් කුකුසකි. ඒ කුකුස දෙගුණ තෙගුණ වූයේ හමුදා සුනඛයන් මෙන්ම, අපරාධයක් එහෙම නැත්නම් කිසියම් සිදුවීමක් වූවා යැයි හැඟෙන පරිද්දෙන් සලකුණු කරන කහ - කළු පැහැති පටි දුටු නිසාය.
තවත් මොහොතකින් නෙලුම් පොකුණ ශාලාවේ ප්‍රධාන ‍ෙදාරටුවෙන් එළියට පැමිණියේ තවත් කමාන්ඩෝ බළඇණියකි. ඔවුහු සිතා ගැනීමටවත් බැරි තරමින් සන්නද්ධ වී උන්හ. මේ වන විට නෙලුම් පොකුණ අවට වටපිටාව තුළ ඇත්තේ කලබලකාරී ස්වභාවයකි. මහාමාර්ගයේ එක් පැත්තක වාහන ගමනාගමනය තහනම්ය. මේ නිසාම සාමාන්‍ය ජනතාව එක පොදියට එක් රැස් වී මේ සිදුවන දේ පිටුපස ඇති කතන්දරය කුමක් දැයි විපරම් කරන ආකාරයක් පෙනෙන්නට විය. නවීන අවි ආයුධවලින් සන්නද්ධ වූ තවත් භට පිරිසක් නෙලුම් පොකුණ ඉහළ මාලවල සැරි සරනු ඊළඟ මොහොතේ අපගේ දෑස් මානයේ දර්ශනය විය.

ගත වූයේ නිමේෂයකි. එක් වරම නෙලුම් පොකුණ මහ ‍ෙදාරටුවෙන් පිටතට පැමිණියේ සිවිල් ඇඳුමින් සැරසුණු පිරිසකි. ඔවුහු දෙඅත්වලින් දෙසවන් ආවරණය කරගත් එකම ඉසව්වකින් පැමිණියේ හමුදා ආරක්ෂාව යටතේය.
මේ මොහොතේම වෙඩි වැදී තුවාල ලබා හෝ මිය ගිය තවත් කීප දෙනකුගේ සිරුරු ඔසවා ගත් තවත් හමුදා භට පිරිසක් පැමිණියේ අවට වටපිටාවේ සිටි අය තුළ වැඩි කතුහලයක් ඇති කරමිනි.
'අන්න එකෙක් දුවනවා.'

ළඟ සිටි කෙනකු කෑ ගසා කියද්දී අප ඒ අය දෙසට දෙනෙත් යොමු කළෙමු. සැබෑවකි, නිල් පැහැති ටී ෂර්ට් එකකින් සැරසී සිටි පුද්ගලයා වෙත හමුදා සුනඛයන් කඩා පනින ආකාරයත් හමුදා සෙබළුන් ඔහු නවතාලමින් ක්‍ෂණිකව පරීක්ෂා කරන ආකාරයත් ඒ මොහොතේ අපට දැක ගන්නට ලැබිණි.

හමුදා ග්‍රහණයට පත් වූ තරුණයා ළඟ තිබුණු ආයුධයක්, නැත්නම් කුමක් හෝ තහනම් ද්‍රව්‍යයක් හමුදා සෙබළුන් සතු වන බව අප දුටුවේ ඒ තත්පරයේදීය.

දැන් නෙලුම් පොකුණ පරිශ්‍රය හමුදා සෙබළුන්ගේ ආධිපත්‍යයට යටත් වී අවසන්ය. කිසියම් අපරාධයකට සූදානම් වූ සියලුම දෙනා මේ වන විට හමුදා භාරයේය. ප්‍රාණ ඇපකරුවන් ලෙසින් සිටි සියලුම සිවිල් පුරවැසියන් දැන් නිදහස්ය.
ඇසිල්ලකින් මේ හමුදා ක්‍රියාන්විතයට අණදුන් හා නායකත්වය දුන් ත්‍රිවිධ හමුදා නිලධාරීන් එම ස්ථානයෙන් බැහැර වනු තවත් මොහොතකදී දක්නට ලැබිණි.
'මොකක්ද මෙතැන වුණේ!'

දැන් මේ සටහන කියවන ඔබට කිසියම් වූ පැනයක් ඇති වී ඇති වග අප දනිමු.

මේ යුද හමුදා කමාන්ඩෝ සෙබළුන්ගේ යුද අභ්‍යාසයකි. එනම් ගොඩනැඟිල්ලක ප්‍රාණ ඇපකරුවන් වශයෙන් රඳවාගෙන සිටින සිවිල් පුරවැසියන් මනා යුද සැලැසුමක් ඔස්සේ බේරා ගත් ක්‍රියාන්විතයකි. එය 9 වැනි 'දියකාවා' යුද අභ්‍යාසය වෙනුවෙන් ක්‍රියාත්මක වූවකි.

සමන් ප්‍රියංකර නම්මුනිගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon