රණවිරුවන්ගේ සුජාතභාවය රැක ගැනීමේ මහ මෙහෙයුම

  👤  3235 readers have read this article !
By mawbima 2018-09-23

කේ.එල්.එන්. අමරසිංහ

ජෝන් එෆ්. කෙනඩි ඇමෙරිකා එක්සත් ජනපදයේ මතභේදාත්මක පසුබිමක ජනාධිපති ධුරයට පත්ව ආන්දෝලනාත්මක සිදුවීම් ගණානාවකට මැදිව අබිරහස් ආකාරයෙන් මියගිය ලෝ සුපතළ දේශපාලන චරිතයකි. ඔහු එක් අවස්ථාවක දේශපාලන වේදිකාවක සිට අපූරු කතාවක් කීවේය. ඒ කතාව මෙසේය.

"............. මිත්‍රවරුනි, හරි අපූරු දිග සතෙක් හිටියා. මේ සතා කොයිතරම් අපූරුද කොයි තරම් දිගද කියා කියනවා නම් උගේ මුහුණට දැනෙන සංවේදනයක් උගේ ශරීරයේ පසුපස කොටසට ගමන් කරන්නේ සෑහෙන කාලයක් ගත වූවාට පසුවයි. ඔන්න එක අවස්ථාවක අපූරු දෙයක් සිදුවුණා. මේ සතාගේ මුහුණට තදබල මාරක පහරක් වැදිලා මුහුණ රතුවෙලා ඇස්වලින් කඳුළු වැගිරෙමින් තිබුණා. නමුත් ඊට බොහෝ කාලයකට පෙර ලැබුණු සතුටක් ඒ වන විට උගේ වලිගය වෙත ගමන් කරමින් තිබුණු නිසා උගේ වලිගය ප්‍රීතියෙන් නැටවෙමින් තිබුණා. ඉතින් හිතාගන්න මිත්‍රවරුනි, එකම සතාගේ සිරුරේ මුහුණ වේදනාවෙන් පීඩා වෙමින් තිබෙද්දී උගේ වලිගය සතුටින් නටමින් තිබුණා නම් ඒක මොන තරම් විකාර රූපී තත්ත්වයක්ද?.........."

ජෝන් එෆ්. කෙනඩිගේ උක්ත උපමා කතාව නොයෙක් තැන්වල නොයෙක් ආකාරයෙන් යොදා ගන්නා අතර යුද්ධය අවසන් කිරීමෙන් පසු උදා වූ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ජාතික දේශපාලන වටපිටාවත් අනෙක් පැත්තෙන් රටින් බාහිරව නිර්මාණය වූ අන්තර්ජාතින දේශපාලන වටපිටාවත් යන දෙක ගත් විට කෙනඩිගේ පුදුම සතාගේ ස්වභාවය සිහිපත් වෙයි. යුද්ධය අවසන් කිරීම මෙරට සියලු ජන කොටස් අතර සාමය සහ ආරක්ෂාව සහතික කළ විජයග්‍රහණයක් බවට විවාදයක් නැත. අනෙක් අතින් එය මෙරට ජාතික දේශපාලනයේ දිශානතිය තීන්දු කළ තීරණාත්මක සාධකය විණි.

යුද ජයග්‍රහණය මෙරට දේශපාලන ලංසුව බවට පත්ව පාලකයන් ද පාලිතයන්ද එහි උද්දාමය රස විඳිමින් සිටියදී බහුතර ජනමතයට නොපෙනී රටට එරෙහිව භයානක පීඩනයක් අන්තර්ජාතික තලයේ කුළු ගැන්විණි. එහෙත් එකී අන්තර්ජාතික පෙළ ගැස්ම මෙරට ප්‍රතිරූපයට හානි නොවන ලෙසින් කළමනාකරණය කර ගැනීමට වුවමනාවක් හෝ ඒ සඳහා ප්‍රායෝගික රාජ්‍ය තාන්ත්‍රික උපාය මාර්ගයක් හෝ එවකට බලයේ වුන් පාලක පක්ෂය වෙතින් ඉස්මතු නොවිණි. ඒ වෙනුවට සිදුවූයේ මෙරට ජනයා උද්දාමයෙන් එදිනෙදා පිනවීමේ සිල්ලර දේශපාලනය ඉහළට ඔසවා අන්තර්ජාතික බලවේග අවතක්සේරු කිරීම සහ ඇතැම් විට එකී අන්තර්ජාතික නියෝජිතයන් වෙත නොදියුණු ප්‍රතිචාර පළ කිරීමය. එයින් හටගත් එක් විපාකයක් වූයේ ශ්‍රී ලංකාව අන්තර්ජාතික වශයෙන් අති භයානක කොන් කිරීමට ගොදුරු වීමය. අතීතයේ ලද යුදමය ජයග්‍රහණය නම් සතුට මත ලාංකේය බහුතර ජන මනස අර පුදුම සතාගේ වලිගය මෙන් සතුටින් පිනා යමින් සිටියද අන්තර්ජාතික තලයේදී රටට මුහුණ රතුවන්නට පහර කිහිපයක් වැදී තිබිණි. මේ ප්‍රහාරයේ බරපතළකම දැන් දැන් වැටහෙමින් තිබේ.

ඒ බව රටට මනාව හෙළි වූ අවස්ථාවක් ලෙස පසුගිය සැප්තැම්බර් 14 වැනිදා මාධ්‍ය ආයතන ප්‍රධානීන් අමතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කළ සුවිශේෂී හෙළිදරව් කිරීම් මඟින් ප්‍රතිග්‍රහණය වෙයි. ජනාධිපතිවරයා එදින කළ එක් ප්‍රකාශයක් අනුව යුද්ධය අවසන් වී ගෙවී ගිය මුල් වසර 6දී එවකට පැවැති ආණ්ඩුව එ.ජා. සංවිධානය සහ ජගත් මානව හිමිකම් කවුන්සිලය සමඟ ආරවුල් ඇති කර ගත් අතර එයින් ශ්‍රී ලංකාවටත් ජනතාවටත් ඉතාම බරපතළ අවාසිදායක තත්ත්වයන් ගොඩනැඟී තිබිණි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එදින පැවැසූ වචන කිහිපයක් උපුටා ගනිමු ".................. අපේ දේශපාලන ප්‍රතිවාදීන් පිළිගත්තත් නැතත් 2015 ජනවාරි 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් මා ජයග්‍රහණය කොට මේ රට මා භාර ගන්නා විට අපට ආර්ථික සම්බාධක පැනවීම ආරම්භ කර තිබුණා. ඊට හොඳම සාධකය වන්නේ යුරෝපා සංගමය මඟින් පැන වූ මත්ස්‍ය තහනම සහ ජී.එස්.පී. සහනය ඉවත් කිරීමයි. එය රටට එරෙහිව ආර්ථික සම්බාධක ක්‍රියාත්මක කිරීමේ මුල් පියවර ලෙසයි මා දකින්නේ........."

අතීතයේදී අන්තර්ජාතික බලවේග කුපිත කරවීමේ සහ ජාතික තලයේ බහුතර ජන මනස පිනවීමේ අපරිණත දේශපාලන මෝස්තරය නිසැකයෙන්ම අනාගතයේදී වන්දි ගෙවීමේ අනිවාර්ය කොන්දේසියට යටත්ව ක්‍රියාත්මක කෙරුණු බාල භාවිතයකි. එහි දෙවැනි මාරක පහර එල්ල කෙරුණේ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක හමුදාවන්ට එරෙහිවය. එකී ප්‍රහාරය එකී පිළිවෙළට සහ එකී වේගයටම ඉදිරියට ගියේ නම් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා නිලධාරීන් අන්තර්ජාතික තලයේදී ගර්හාවට සහ කොන් කිරීමට ගොදුරු වීමට ඕනෑ තරම් ඉඩ තිබිණි. එහෙත් 2015 ජනවාරි 08දායින් පසුව එකී තර්ජනයේ තීව්‍රතාව හීන වී ගිය අතර ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට තම සුජාත ප්‍රතිරූපය තවදුරටත් අන්තර්ජාතික තලයේදී රැක ගැනීමට අවස්ථාව උදා කෙරිණි. පසුගිය සැප්තැම්බර් 14 වැනිදා පැවැති මාධ්‍ය හමුවේදී ජනාධිපති මෛති්‍රපාල සිරිසේන මහතා විසින් කරන ලද ප්‍රකාශයේ උද්ධෘත කිහිපයක් මෙසේය.
"මේ වන විට යුද්ධයත් සමඟ ජාත්‍යන්තරයේ ඉතිරි වී තිබෙන දේවල් මොනවාද? ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිෂන් සභාව හරහා අපට ඉදිරිපත් කර ඇති යෝජනාවලියට අදාළව යම් යම් ක්‍රියාමාර්ගවලට පිවිසීමේදී අපිට විස¼දාගත යුතු ප්‍රශ්න ගණනාවක් තිබෙනවා.

අපේ රටේ ස්වාධීනත්වය, ජාතික ආරක්ෂාව, ත්‍රිවිධ හමුදාවේ ගෞරවය, ආරක්ෂා කරගෙන අපි කටයුතු කිරීම එහිදී ඉතාම වැදගත්. එක්සත් ජාතීන්ගේ සංවිධානය අදත් විනයගරුක හමුදාවක් කියලා ඉතාම ඉහළින් අපේ ආරක්ෂක හමුුදාව පිළිගන්නවා. ඒ නිසා සාමසාධක හමුදාවලට අපේ් අය ගන්නවා. අපේ හමුදාව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රතික්ෂේප කරලා නම්, කවදාවත් සාමසාධක හමුදාවලට අපෙන් ගන්නේ නැහැ. වාර්ෂිකව සාමසාධක හමුදාවලට අපි යවනවා. හමුදා නිලධාරීන්, කාර්ය මණ්ඩල වගේම භෞතික සම්පත්, යුද උපකරණ, හෙලිකොප්ටර් අපි යවනවා.

"අපි කොහොමද සෑම කෙනකුටම කරදරයක්, ප්‍රශ්නයක් නොවන විදියට ඒවා විසඳන්නේ. අපිට එවැනි චෝදනා එල්ල කරනවා වගේම අනෙක් පැත්තෙන් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ පවුල්වල සිරභාරයේ සිටින ඥාතීන් එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ වෙලා අධිකරණයෙන් වැරැදිකරුවන් වී සිර දඬුවම් විඳින අය සහ තවමත් නඩු පවරා නැති පිරිස් නිදහස් කරන්න කියා ඔවුන් ඉල්ලීම් කරනවා

මේ දෙපාර්ශ්වයේ ඉතිරි වී තිබෙන ප්‍රශ්න ටික අපි කොහොමද සුහදව විසඳගන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමුළුවේදී 25 වැනි දින සිදු කරනු ලබන මගේ කතාවේදී මම බලාපොරොත්තු වෙනවා විශේෂ විසඳුම් යෝජනාවක් ඉදිරිපත් කරන්න. එය කුමක් ද කියා මා දැන් සඳහන් කරන්නේ නැහැ."

ජාතික දේශපාලනයේදී රටේ ජාතික ආරක්ෂාව සහ ආරක්ෂක හමුදා පිළිබඳව නැවැත වරක් ජන මනස කුපිත කිරීමේ උත්සාහයන් වරින්වර ඉස්මතු වෙයි. අතීතයේදී මෙරට ජන මනස පිනවීම සඳහා අන්තර්ජාතික ප්‍රජාව කුපිත කෙරුණු අතර දැන් දකින්නට ලැබෙන්නේ එහි විලෝමයයි. ශ්‍රී ලංකා පොදුජන මනස තුළ අන්තර්ජාතික ප්‍රජාව සතුරන් ලෙස මවා පෙන්වන අතර මෙරට බහුතර ජනමනස සහ අන්තර්ජාතික සබඳතා එකිනෙකාට පසමිතුරු ලෙස ධ්‍රැවීකරණය කෙරෙනුයේ දැනුවත් බාල දේශපාලන ව්‍යාපෘතියක් අනුව බව පැහැදිලි වෙයි.

වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එකී බාල අන්ත දෙකෙන් එකකටවත් නොවැටී නිර්මාණාත්මක සහ විනිවිද පෙනෙන ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් තුළින් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා ප්‍රතිරූපය ශක්තිමත් කිරීමට සහ මෙරට ආරක්ෂක හමුදාවන්ට එරෙහි අන්තර්ජාතික උසිගැන්වීම් අවසන් කිරීමට නායකත්වය ගනිමින් සිටීම කොන්දේසි විරහිතව අගය කළ යුතු වෑයමකි. එය හුදු පටු දේශපාලනමය සීමාවන් ඉක්මවා ගිය ජාතික වගකීමක් ලෙස ප්‍රකට කෙරෙයි. මෙහි වටිනාකම වඩාත් වැඩි වන්නේ අදට නොව හෙටටය.

මාධ්‍ය හමුවකදී මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් කරනු ලැබූ ප්‍රකාශයක බලගතු කාලීන සංඥාවක් ගැබ්ව පවතී. මෙරට ආරක්ෂක හමුදාවන්ට බලවත්ම හානිය සිදු කරන්නේ කවුරුන්ද යනු එමඟින් ප්‍රකට වෙයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එදින සිදුකළ ප්‍රකාශයේ මේ උද්ධෘතය බලමු.

"මේ දවස්වල රටේ මිනිස්සු හිතාගෙන ඉන්නේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තමයි මේ ළමයි මරන්න ඇත්තේ කියලා. නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියන විදියට එහෙම ඝාතනවලට එයාගේ සම්බන්ධයක් නැහැ. එයට සම්බන්ධ කෙනකුට පිට වෙන්න දුන්නයි කියන චෝදනාවක් තමයි තිබෙන්නේ. ඒ ගැනත් එයාගෙන්වත් ප්‍රකාශයක් අරගෙන නැහැ. ඒ වගේම 2015 අට වැනි මාසේ ඉඳලාම මේ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් යම් යම් පරීක්ෂණ සම්බන්ධයෙන් අත්අඩංගුවට අරන් තිබෙනවා. රිමාන්ඩ් භාරයට පත් කරලා තිබෙනවා.

ඒ එක්කෙනකුටවත් නඩුවක් පවරලා නැහැ. මේ තත්ත්වයන් පිළිබඳව මම බොහෝම තදින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත්, නීතිපතිතුමාටත් කිව්වා. ඇයි මෙවැනි දේ සිදුවෙන්නේ. මේ නඩු පැවරීම් කරන්න. එතකොට ජේ‍යෂ්ඨ නිලධාරීන් පවා දීර්ඝ කාලයක් අත්අඩංගුවේ තියාගෙන ඉ¼දලා නිකම්ම එළියට දානවා. එතකොට රණවිරු දඩයම කියලා චෝදනාවක් ආණ්ඩුවට එනවා. ඒ නිසා මේ තිබෙන තත්ත්වය සාමාන්‍ය ජනතාව වැරැදියට තේරුම් ගන්නවා. ඒ වගේම මාධ්‍යයට ලැබෙන තොරතුරු ඒ අය වාර්තා කරන්නේ. ඒ මඟින් ජනතාව නොමඟ යනවා. ජාත්‍යන්තර වශයෙන් වැරැදි වැටහීම් ඇති වෙනවා. ඒ නිසා මම කිව්වා මේවට නඩු දාන්න. මේ නඩු නොදැමීම ප්‍රශ්නයක්. මෙතැනදී මටත් අවශ්‍ය වැරැදිකරුවන්ට නඩු පැවැරීම. දඬුවම් දෙන එක අධිකරණයේ වැඩක්."

"රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව මාධ්‍ය තුළ නොයෙක් දේවල් යනවා. එක එක්කෙනා කියන දේවල්. රටේ ආරක්ෂක තත්ත්වය කිසිම තැනක කිසිසේත්ම දුර්වල වෙලා නැහැ. හමුදාවට අපි අලුත් උපකරණ දීලා තිබෙනවා. පුහුණුවීම් ලබාදීලා තිබෙනවා. මම ජනාධිපති වුණාට පසුව පසුගිය කාලයට වඩා විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම එක්ක ඇති කර ගත් සුහදතාවත් එක්ක ඇමෙරිකාව, එංගලන්තය, ජපානය, චීනය, ඉන්දියාව, පාකිස්තානය වැනි ලෝකයේ ප්‍රබල රටවල් අපේ හමුදාවට දෙන පුහුණුවීම් පවා වැඩි කරලා තිබෙනවා."
කෙසේ නමුත් අද රට පවතින තත්ත්වය සහ අන්තර්ජාතික ප්‍රජාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දරන ආකල්පය කෙසේද යනු රටේ හෙට දවස තීන්දු කරන බලවේගයක් විසින් ගැඹුරින් විමසිය යුතු බවට විවාදයක් නැත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon