ක්‍රිකට් මාර පරාජය

  👤  3339 readers have read this article !
By mawbima 2018-09-23

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාලෝලීන්ට ක්‍රිකට් මෙතරම්ම තිත්ත වූ කාලයක් තවත් නොමැති තරම්ය. ක්‍රිකට් ගැන උනන්දුවක් නොදැක්වූ බොහෝ දෙනකු පවා ක්‍රිකට් ගැන දැනගත්තේ මේ දිනවල පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම පෙන්වූ අන්ත අසාර්ථකත්වය හේතුවෙන් මෙරට සමාජය තුළ පැන නැඟුණු උණුසුම් කතාබහ නිසාමය.

ඒ නිසා අපේ රටේ ක්‍රීඩාවට ළැදි අය අතර ක්‍රිකට් නොබලන ගොඩ පසුගිය දින කිහිපයේ සිට වැඩි වෙන්නට පටන්ගෙන ඇත්තේ පරම්පරා ගණනක් ගියත් සෝදා හරින්නට බැරි තරම් අවමානයක් ශ්‍රී ලංකා භූමියේ තවරා ගන්නට වත්මන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම වැඩ සැලැස්වූ නිසාය. ක්‍රිකට් යනු ක්‍රීඩාවක් නිසා එහි ජය පරාජය එකසේ විඳගත යුතු බවද සැබෑය. එහෙත් කාගෙ කාගේත් මතය වන්නේ පරාජය වීමම නොව ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වූ ආකාරය දරාගත නොහැකි බවයි. රටවල් 6ක සහභාගිත්වයෙන් මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දැක්වූ දස්කම් අනුව ශ්‍රී ලංකාවට හිමිවිය යුත්තේ 6 වැනි ස්ථානයයි. හේතුව ශ්‍රී ලංකාව මෙන් එක් තරගයක් හෝ දිනා නොගත්තද ආධුනික හොංකොං පිල ඉන්දියාව ඉදිරියේ දැක්වූ දක්‍ෂතා ශ්‍රී ලංකාවට වඩා ඉහළ මට්ටමක තිබිණි.

මෙවර තරගාවලිය අරඹමින් පළමු දිනයේදී පැවැති තරගයෙන් බංග්ලාදේශය ඉදිරියේ පරාජය වූ ඇන්ජිලෝ මැතිව්ස් ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම ඊළඟට මුහුණ දුන් තරගයේදී ද ඇෆ්ගනිස්තානය හමුවේ අන්ත පරාජයක් ලැබුවේ ඊට දින දෙකකට පෙර බංග්ලාදේශය ඉදිරියේ පෙන්වූ දුර්වලතා ඒ ආකාරයටම නැවත වතාවක් සිදු කරමිනි. එසේ සිදුකරන්නට නම් මාසයකට ලක්‍ෂ 100කට අධික මුදලක් ගෙවා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් පුහුණුකරණ කාර්ය මණ්ඩලයක් මහජන මුදලින් නඩත්තු කරන්නේ කුමකටදැයි අන්නාසි කෑල්ලක් ගිල දමමින් වතුර උගුරක් බොන අහිංසක ක්‍රිකට් ලෝලීයාගේ සිට සොසේජස්, හැම් බේකන් බුදින ක්‍රිකට් රසිකයා දක්වා කා හටත් ප්‍රශ්නයකි. එම ප්‍රශ්නයට පිළිතුරු සෙවීමේදී මෙරට ක්‍රිකට් ක්‍රීඩාව කරවන හා කරන පුද්ගලයන් පිළිබඳව බොහෝ දේ හෙළිදරව් කරගත හැකි අතර, ජාතික කණ්ඩායමේ විනයානුකූල බව නම් සාධකයද දැඩි ලෙස සැලකිල්ලට ගත යුතුය.

ක්‍රීඩකයකුගේ විනයානුකූල බව මුසු වූ කැපවීම තම දක්‍ෂතාවන්ගේ දියුණුවට මෙන්ම පොදුවේ කණ්ඩායමේ ප්‍රගතියටද බලපාන කරුණකි. එහෙත් වර්තමානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින බොහෝ ක්‍රීඩකයන් තුළ දක්නට නොමැත්තේද මෙකී ලක්‍ෂණයන්ය. හතරේ සීමාවෙන් එපිට මෙකී ආකාරයෙන් කැපවීමක් කරන්නට නොහැකි නම් එය හතරේ සීමාව තුළ ප්‍රතිවාදියාට එරෙහිව දක්‍ෂතා පෙන්වන්නටද බාධාවකි. එසේ කැපවීමෙන් ක්‍රීඩාවේ යෙදෙන කෙනකු ඇත්නම් ඔහුට දක්‍ෂතා පෙන්වන්නට නොහැකි වන්නේ නම් ඊට හේතුව බැරිකමය. ඒ නිසා රටක් නියෝජනය කරන්නට එවැනි වැඩ බැරි ක්‍රීඩකයන් තෝරා නොගත යුතු අතර, එවන් අය තෝරා තරගවලටද යොමු කරන්නේ නම් ක්‍රිකට් තේරීම් කටයුතු කරන මහත්වරුන්ද ගෙදර යා යුතුය.

එසේ ක්‍රීඩකයනුත්, ක්‍රීඩකයන් තෝරාගන්නා මහත්වරුනුත් ගන්නා වැටුපට වටිනාකමක් ලබා දෙන රාජකාරියක් නොකරන්නේ නම් කොතරම් හොඳ යැයි කියනා පුහුණුකරු හතුරුසිංහ නොහොත් හතුරුගේත් පතුරු යයි. දැන් සිදු වී තිබෙන්නේ එයමය. අද වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පන්දුවාර 50කදී ලකුණු 200ක් පසුකළ හැකි ඕනෑම ප්‍රතිවාදී කණ්ඩායමකට ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කිරීම පහසු කටයුත්තක් වී ඇත. ඒ තරමටම ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් දුර්වලය. පන්දු රකින්නන්ද ඊට දෙවැනි නැත. මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් තරග දෙකේදී සිදුවුණෙත් ඒ දේවල්මය. ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් තම පිතිකරුවන්ට බරක් නොපැටවෙන ආකාරයේ ඉලක්කයක් සාදා දුන්නද ආරම්භක පිතිකරුවන් දෙදෙනාම හැකි ඉක්මනින් නැවත හැරී එන්නේ පරාජිත සිග්නල් එක පත්තු කරමිනි.

ඒ අතින් බැලූ විට කුසල් මෙන්ඩිස්ට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. අද එක්දින ජාත්‍යන්තර තරගවලදී ආරම්භක පිතිකරු උපුල් තරංගගේ තනියට ඔහු තණතීරුව මැදට කැඳවාගෙන යන පුද්ගලයකු බවට මෙන්ඩිස් පත්ව ඇත. තරග දෙකේදී බිංදු දෙකක් ලබාගත්තේ එකම ආකාරයට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වී දැවී යෑමෙනි. කුසල් මෙන්ඩිස් මෙම ආරම්භක පිතිකරු ස්ථානයේම එක්දින තරගවලදී ක්‍රීඩා කරන්නට තවදුරටත් යොදා ගතහොත් තුන්වැනි වරටත් එම වරදට හසුනොවන්නේ යැයි කිව නොහැකිය. ඒ තරමටම ශ්‍රී ලංකා පුහුණුකරුවන්ගේ ප්‍රකාශවලට වලංගුභාවයක් නොමැත. ආසියානු කුසලානය සඳහා ශ්‍රී ලංකාවෙන් පිටවී යෑමට පැය කිහිපයකට පෙර මාධ්‍යවේදීන් හමු වූ අවස්ථාවේදී ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ නායක ඇන්ජිලෝ මැතිව්ස් කියා සිටියේ පළමුව හමුවන බංග්ලාදේශය හා ඇෆ්ගනිස්තානය යන කණ්ඩායම් දෙක ඉලක්ක කරගනිමින් තම කණ්ඩායම විශේෂ පුහුණුවීම්වල යෙදුණු බවයි.

එම දෙදෙනාගේ ප්‍රකාශයන්හි බරට සරිලන ප්‍රතිඵලයක් අත්වින්දේ නැත. පෙර පුහුණුවීම් පිළිබඳව ශ්‍රී ලංකාව පැත්තෙන් එම දෙදෙනා එසේ කීවද මින් පෙර 2015 සිට 2017 දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම සතුව සිටි උසස් කාර්යසාධන විශ්ලේෂක හෙවත් වීඩියෝ තාක්‍ෂණ විශ්ලේෂකයා වූ ශ්‍රී රාම් සොමයජුලා වර්තමානයේදී සිටින්නේ ඇෆ්ගනිස්තානය සමඟ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා සහ පුහුණුකරු නොදන්නවාදැයි සැකයක් මතුවේ. පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීරද මෙවර ලද අවමන් සහගත පරාජයට තවත් එක් වගකිවයුත්තෙකි. පළමු තරගයේදී ශ්‍රී ලංකාවේ පළමු කඩුලු 4 දැවී ගියේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීම නිසාය. තවද බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය හමුවේ තරග දෙකේදීම කිසිදු ශ්‍රී ලංකා පිතිකරුවකුට ලකුණු 50 සීමාව පසු කිරීමට නොහැකි විය. එසේම ශ්‍රී ලංකා පිලේ සුපිරි පිතිකරුවකු ලෙස සැලකෙන කුසල් මෙන්ඩිස් අවසානයට මුහුණ දුන් එක්දින තරග ඉනිම 22දීම එක් අර්ධ ශතකයක් හෝ වාර්තා කිරීමට අසමත් වී ඇත.

මෙවන් ප්‍රතිඵල එළිදක්වන්නේ පිතිකරුවන් සතු නොහැකියාවද එසේත් නැත්නම් පිතිකරණ පුහුණුකරුගේ උපදෙස් හේතුවෙන්ද යන්න පිළිබඳව දැන් ගැටලු මතුකරයි. එම සැකය මතුවන්නේ පිතිකරණ පුහුණුකරු තිලාන් විසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ පිතිකරණ විලාසය වෙනස් කර ඇති බවට තොරතුරු දැනගන්නට ලැබීමය. නමුත් මාස 10ක පමණ කාලයක් ප්‍රධාන පුහුණුකරු හතුරුසිංහ සහ පිතිකරණ පුහුණුකරු තිලාන් සමඟ සිටි පිතිකරුවන් අසරණ වෙද්දී මෙකී පුහුණුකරුවන් දෙදෙනා සමඟ නොසිට වසරකට පමණ පසුව යළි ශ්‍රී ලංකා එක්දින පිලට එක්වූ ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ දස්කම් මුළු රටක්ම කතා කරන්නට තරම් ඉහළ මට්ටමක තිබිණි.

සුපිරි යැයි කියා ගනිමින් බංග්ලාදේශයේ සිට මෙරටට ගෙන්වා ගත් පුහුණුකරුවන් දෙදෙනාගේ ප්‍රතිඵලයත් මෙසේ වූයේ මෙකී පුහුණුකරුවන් දෙදෙනාගෙන්ම ගුරුහරුකම් ලබාගත් බංග්ලාදේශ පිලෙන්ම තවත් වරක් ශ්‍රී ලංකාව පරාජය වැලඳ ගත් බැවිනි.

එසේම ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීමේ අංශයද ජාත්‍යන්තරයට අවශ්‍ය මට්ටමක නොමැත. උඩපන්දු 6ක්ම තරග දෙකක් තුළ අත්හැරීමට තරම් අදක්‍ෂ වූ ශ්‍රී ලංකා පන්දු රකින්නන් ඔවුන්ගේ නොහැකියාව ප්‍රදර්ශනය කළා පමණක් නොව තම කණ්ඩායමේ පන්දු යවන්නන් හට තිබූ කඩුල්ලක හිමිකාරිත්වයද නැති කළේය. උඩපන්දු අත්හැරිය පමණින් තරග පරදින්නේ නැතැයි මින් පෙර දිනක ප්‍රකාශ කළ මාලිංගට මෙවරත් පන්දු රකින්නන් උඩපන්දු බිම දමමින් සරදම් කිරීම විශේෂත්වයකි. එපමණක්ද නොව කඩුලු අතර දිවීමේ පාඩම වැරැදියට කියවා ඇති පුද්ගලයකු බවට නායක මැතිව්ස් කා හටත් පෙන්වා දුන්නේය. මුහුණ දුන් තරග දෙකේදීම එනම් පළමු තරගයේදී දසුන් ශානකත් දෙවැනි තරගයේදී ෂෙහාන් ජයසූරියත් දුවද්දී දැවී යෑම්වලට හසුවූයේ මැතිව්ස්ගේ කැඳවීම් අනුව බවද පැහැදිලි විය.

ඒ අනුව මෙවැනි ප්‍රතිඵලයන් ක්‍රීඩාවට ළැදි බොහෝ දෙනා අතර සැකය මුසු වූ මාතෘකාවන් නිර්මාණය කරන්නට පාදක වන අතර, එක්දින තරගයක් සඳහා පමණක් ඇමෙරිකානු ඩොලර් 3000ක දීමනාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලබන ක්‍රීඩකයකු තමාගේ රැකියාව මීට වඩා වගකීමෙන් කළ යුතු බවද සිහියේ තබාගත යුතුය. වෙනත් වෘත්තියක යෙදෙන්නන්ගේ වැරැද්දට පඩි කැපෙයි. නමුත් අද ක්‍රිකට් වෘත්තියේ යෙදෙන ක්‍රීඩකයකු කුමන වරද කළද එසේ වන්නේ නැත. එක්දින තරග දෙකකදී ලකුණු බිංදු දෙකක් ගත්තද ඇමෙරිකානු ඩොලර් 6000ක් ලැබීම අඩු වන්නේ හෝ කැපෙන්නේ නැත. ඒ තරම්ම ක්‍රිකට් යනු මුදල්ය. නමුත් ඒවා විවේචනයට ලක්විය යුතු කාරණා යැයිද අප සලකන්නේ නැත. නමුත් ඒවා කාගේත් සැලකිල්ලට භාජන වන්නේ මෙතරම් වැටුපක් ලබාගෙන වැඩෙත් හරියට නොකරන විටය.

මුදල් ගැන කතා කරන විට සිහියට නැඟෙන තවත් කරුණක් වන්නේ පසුගියදා ශ්‍රී ලංකාවට ආසියානු කිරුළ ගෙන ආ දැල්පන්දු කණ්ඩායමය. රටවල් 12ක සහභගිත්වයෙන් පැවැති ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලියේදී ශූරියන් වන්නට ශ්‍රී ලංකා කාන්තාවෝ සමත් වුවද ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම ආසියානු ශූරතාවට ගොස් කණ්ඩායම් 6ක් අතර අන්තිමයා වී ගෙදර පැමිණියේය. එහෙත් බින්දු දෙකක් පමණක් ගත් ක්‍රිකට් ක්‍රීඩකයකු ඇමෙරිකානු ඩොලර් 6000ක් ලබාගන්නා විට එවන් මුදලක්වත් ආසියානු කිරුළ දිනාගත් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමට ලැබෙන බවක් තවමත් ක්‍රීඩා බලධාරීන්ගෙන් ප්‍රකාශ වී නැත.

එය කනගාටුවට කරුණක් මෙන්ම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ මේ වනවිට ඇති පසුබෑමට පාදක වූ කරුණු දීර්ඝ කාලයක සිට ඇති බව පෙනේ. 2015 වසර ආරම්භයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව එක්දින තරගාවලි 15කට සහභාගි වී ඇතත් ඉන් ජයග්‍රහණ කර ඇත්තේ තරගාවලි 4කදී පමණි. 2016 දී එක්දින තරග 19කට මුහුණ දුන් ශ්‍රී ලංකා පිල ඉන් තරග 6ක් පමණක් ජයගෙන තිබූ අතර, 2017 දී එක්දින තරග 29කට සහභාගි වී ජය ගත්තේ තරග 5කදී පමණි. මෙම වසරේදී මේ වනවිට එක්දින තරග 12කට මුහුණ දුන් ශ්‍රී ලංකා පිලට ජයගත හැකිව ඇත්තේ තරග 5කදී පමණි. මෙම තරග 12 හා ජයග්‍රහණ 5 අයත් වන්නේ හතුරුසිංහගේ පුහුණු කිරීමේ ගිණුමටය. එම ගිණුමේ ජයග්‍රහණ ප්‍රමාණය වැඩිවන තරමට අපේ රට ක්‍රිකට්වලින් පොහොසත්ය. අනෙක් අතට ක්‍රිකට් පාලකයන්ගේ ගිණුමද තරවන්නේ එවිටය. හේතුව තරග වැඩිපුර බලන තරමට රූපවාහිනි විකාශන අයිතියද විකුණා වැඩි මුදලක් උපයාගත හැකි වීමයි. නමුත් තරග පැරැදුණත්, දිනුවත් ක්‍රිකට් කරන අයත්, කරවන අයත් ගොඩය. දුප්පත් වන්නේ ඒ දෙස බලා අත්පොළසන් දෙන ක්‍රීඩාලෝලියාය.

සිරිනාම රාජපක්‍ෂ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon