චිත්‍ර ශිල්පීන් 6ක් එක්ක හඳට යන පළමු සංචාරක බිලියනපති ජපනා yasaku Maezawa

  👤  3299 readers have read this article !
By mawbima 2018-09-23

නිහාල් පීරිස්

මෙතෙක් කාලයකට පෘථිවියේ සිට සඳ වෙත ගමන් කර ඇත්තේ පළපුරුදු අභ්‍යවකාශගාමීන් පමණි. සාමාන්‍ය මිනිසුන් කිසි දිනෙක ඒ ආකාරයෙන් සඳ වෙත ගමන් කර තිබුණේ නැත. නමුත් දැන් ඉතිහාසයේ පළමු වතාවට සාමාන්‍ය වැසියකු සඳ වෙත යෑමට සූදානම් වෙයි. සැබැවින්ම ඔහු චන්ද්‍ර සංචාරකයකු ලෙස සැලකිය හැකිය.

මේ ආකාරයෙන් මෙම ඓතිහාසික සඳ ගමනට සහභාගි වීමට සැරසෙන සංචාරකයා ගේ නම යූසකු මෙසාවා (කභඵචඬභ ර්චඥලචඹච) ය. වයස අවුරුදු 42ක් වන ඔහු ජපන් ජාතික බිලියනපතියෙකි. මෙම සඳ ගමන සඳහා යූසකුට විශාල මුදලක් ගෙවීමට සිදු වෙයි. ඒ මුදල ගැන නිශ්චිතව සඳහන්ව නැතත් එය ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක් බව පැවසේ. නමුත් ධන කුවේරයකු වන යූසකුට මෙය එතරම් ලොකු මුදලක් විය හැකි නොවේ. යුසකුගේ ශුද්ධ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක් බවද වාර්තා වෙයි. එය ලංකාවේ මුදලින් කිවහොත් රුපියල් බිලියන 500 කට (කෝටි 50,000 ට) ආසන්න ය. ඉහත සඳ ගමන සඳහා යූසකු තෝරාගත් බව පළමු වරට නිවේදනය කෙරුණේ පසුගිය 17 වෙනි සඳුදාය.

අවසන් වරට මිනිසකු සඳ වෙත ගියේ 1972 වසරේ දෙසැම්බරයේ ය. ඒ ඇමෙරිකාවේ ඇපලෝ 17 යානයෙනි. එදා මෙදාතුර ගෙවී ගිය වසර 46කට ආසන්න කාලය තුළ මිනිසකු සඳ වෙත ගමන් කර නැත. ඒ අරුතින් ද යූසකු ගේ සඳ ගමන විශේෂත්වයක් ගන්නා බව පැවසිය හැකිය. නමුත් ඇපලෝ යානා මඟින් සඳට ගිය අභ්‍යවකාශගාමීන් මෙන් යූසකු සඳ මතට ගොඩ බසින්නේ නැත.

ඔහුගේ යානය සඳ සමීපයෙන් ඒ වටා ගමන් කර නැවත පෘථිවිය වෙත පැමිණීමට නියමිතව තිබේ. කෙසේ වෙතත් මෙම ගමන සඳහා දින 7ක කාලයක් ගතවනු ඇති බවද සඳහන් වේ. මෙම ගමන සඳහා යොදා ගැනෙන යානා තවමත් නිෂ්පාදනය වෙමින් පවතින අතර ඒවායේ කටයුතු නිම වීමෙන් පසු යූසකු ගේ සංචාරය සිදුවනු ඇතැයි පැවසෙන්නේ 2023 වසරේ ය.

කෙසේ හෝ වේවා, මෙම අපූරු සංචාරය මුළුමනින්ම පෞද්ගලික සමාගමක් විසින් ක්‍රියාවට නඟනු ලබන්නක් වීමද තවත් විශේෂ කාරණයකි. මෙයට පෙර අජටාකාශගාමීන් සඳ වෙත ගිය ව්‍යාපෘති සියල්ලම මෙහෙය වන ලද්දේ ඇමෙරිකානු රජයේ අභ්‍යවකාශ ආයතනය වන නාසා ආයතනය විසිනි. මෙම කාරණය අතින් ද මෙවර සඳ ගමන ලෝක ඉතිහාසයට එක්වන්නක් බවට පත් වෙයි. ඇමෙරිකානු සමාගමක් වන ඉහත කී සමාගම හැඳින්වෙන්නේ 'ස්පේස්එක්ස්' (ඉනචජඥඔ) යනුවෙනි. එහි ප්‍රධානියා වන්නේ ඉලෝන් මස්ක් නමැති ප්‍රකෝටිපති ව්‍යවසායකයා යි. ඔහු අභ්‍යවකාශ ගමන් ක්‍ෂේත්‍රය පෞද්ගලිකකරණය කිරීමේ පුරෝගාමී මෙහෙවරක් කරන්නකු ලෙස සැලකෙන්නෙකි. අභ්‍යවකාශගාමීන්ට පමණක් නොව සාමාන්‍ය වැසියන්ටද සංචාරකයන් සේ අභ්‍යවකාශයේ සැරිසැරීමේ අවස්ථාව උදා කර දීම ඔහුගේ සිහිනයකි.

නමුත් දැනට නම් ඒ සඳහා වාසනාව උදාකර ගත හැක්කේ ඉහළම මට්ටමේ ධනපතියන්ට පමණක් බව ද සඳහන් කළ යුතු ය.

ඉලෝන් මස්ක් ගේ 'ස්පේස්එක්ස්' සමාගමේ මෙම ව්‍යාපෘතිය හරහා සඳ වෙත යන යූසකු තමා සමඟ චිත්‍ර ශිල්පීන් සය දෙනෙකු ද මෙම ගමනට සහභාගි කර ගැනීමට බලාපොරොත්තු වෙයි. මෙම චිත්‍ර ශිල්පීන් වෙනුවෙන් ද මුදල් ගෙවන්නේ යූසකි බව සඳහන්ව තිබිණි. සඳ ගමනට සහභාගි වන චිත්‍ර ශිල්පීන්ට, ඔවුන්ගේ ගමනේ අත්දැකීම් උපයෝගී කරගනිමින් විශිෂ්ට
නිර්මාණයක් බිහි කිරීමට අවස්ථාව උදා කර දීම යූසකුගේ අපේක්‍ෂාවයි. යූසකු මෙසාවා කොහොමටත් චිත්‍ර සම්බන්ධයෙන් ලොකු උනන්දුවක් දක්වන රසිකයකු බව ද සඳහන් වේ.

ප්‍රකට චිත්‍ර ශිල්පීන්ගේ නිර්මාණ ඉතා අධික මිල ගණන් ගෙවා ලබා ගැනීම ඔහුගේ එක් විනෝදාංශයකි. මෙම මිල දී ගැනීම් අතරින් වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේ
ජීන්-මිචෙල් බාස්කුවෙට් නමැති චිත්‍ර ශිල්පියාගේ චිත්‍රයක් ඇමෙරිකානු ඩොලර් මිලියන 110කට මිලට ගැනීමේ සිද්ධියයි. එය ලංකාවේ මුදලින් රුපියල් කෝටි 2,000 කට ආසන්න අගයකි.

යූසකු මෙසාවා බිලියනපතියකු බවට පත්ව ඇත්තේ අන්තර්ජාලය ඔස්සේ ඇඳුම් අලෙවි කිරීමේ (ඔන්-ලයින්) ව්‍යාපාරයක් හරහා ය. ඔහුගේ ව්‍යාපාරය හැඳින්වෙන්නේ 'සෝසෝ' (ඛර්ණීඛර්ණී) යනුවෙනි.

මේ වනවිට ඔහු ජපානයේ ධනපතියන් ගේ ශේ‍ර්ණිගත කිරීම තුළ 18 වැනි ස්ථානයේ පසුවෙයි. ඇඳුම් ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර ඔහු කලක් සංගීත කණ්ඩායමක සාමාජිකයකු ලෙස ද කටයුතු කර ඇති අතර පසුව සංගීත තැටි ව්‍යාපාරයක් ද පවත්වාගෙන ගොස් තිබේ.
කෙසේ වෙතත් යූසකු ගේ සඳ ගමන සඳහා භාවිත කිරීමට බලාපොරොත්තු වන රොකට්ටුව තවමත් සාදා නිමකර නැත. එය හැඳින්වෙන්නේ බී.එෆ්.ආර් (හෙවත් ඕඪඨ ජ්චතජධද අධජඬඥබ) යනුවෙනි. එහි උස මීටර 118ක් (අඩි 383 ක්) පමණ වනු ඇති අතර විෂ්කම්භය මීටර 9 ක් (අඩි 30 ක් පමණ) වනු ඇත. මෙම ඓතිහාසික සඳ ගමන සඳහා යූසකු ඉදිරිපත් වීම 'ස්පේස්එක්ස්'' සමාගමේ අධිපති ඉලෝන් මස්ක් සලකන්නේ ඉතා එඩිතර වීර ක්‍රියාවක් වශයෙනි. මන්ද යත් මෙම ගමන මතුපිටින් පෙනෙන තරම් සුන්දර හෝ සරල කටයුත්තක් නොවන, ඉතා අනතුරුදායක එකක් බැවිනි. කෙසේ වෙතත් යූසකු වැනි කෙනකු මෙම කටයුත්ත සඳහා ඉදිරිපත් වීම තම අභ්‍යවකාශ වැඩපිළිවෙළට ගෞරවයක් බව ද මස්ක් සඳහන් කර තිබිණි.

'පැහැදිලිවම මේක අනතුරුදායක කටයුත්තක්. උද්‍යානයක ඇවිදිනව වගේ පහසු කටයුත්තක් නොවෙයි' පසුගිය දා යූසකු මාධ්‍ය වෙත හඳුන්වා දීමේ හමුවේ දී මස්ක් සඳහන් කළේය. 'මේ වගේ, වෙන කවුරුත් නොකරපු දෙයක් කරන කොට ඒ හා බැඳුණු යම් අවිනිශ්චිත බවකුත් තියෙනවා. කොහේ හෝ තැනක යම් වැරැද්දක් සිදු වීමට ඉඩක් තියෙනවා' ඔහු තවදුරටත් පවසා තිබිණි. මෙම සඳ ගමනේ දී යූසකුට සඳෙහි 'අඳුරු පැත්ත' ලෙස හැඳින්වෙන පෘථිවියට කවදාවත් නොපෙනෙන පැත්ත ද දැක ගන්නට ඉඩ ලැබෙනු ඇත. (මෙය අඳුරු පැත්ත ලෙස හැඳින්වෙන්නේ සැබැවින්ම එය අඳුරු නිසා නොව පෘථිවියට කිසි දිනෙක දිස් නොවන නිසාය. එසේ වන්නේ සඳ තමා වටා භ්‍රමණය වන වේගයත්, පෘථිවිය වටා ගමන් කරන වේගයත් සමාන වීම හේතුවෙනි). පෘථිවියෙහි සිට සඳ වෙත ඇති දුර කි.මී. ලක්‍ෂ හතරකට (සැතපුම් 250,000 කට) ආසන්න වෙයි.

'කුඩා දරුවකුව සිටි කාලයේ සිටම මා සඳට ආදරය කළා. ඒ නිසා මෙය මගේ ජීවිත කාලයක සිහිනයක් සඵල වීමක්' යයි යූසකු සඳහන් කර තිබිණි. 'සඳ වෙත යන
පළමු මගියා හැටියට මා යන මේ ගමන ලොව සියලු දෙනාගේම පරිකල්පනය සහ කුතුහලය නියෝජනය කරන්නක් වේවි. ස්පේස්එක්ස් සහ බී.එෆ්.ආර් යානය ද සමඟ එක්ව මා මෙම ගමන අර්ථවත් ගමනක් බවට පත් කරනවා' යනුවෙන් ද ඔහු සිය ට්විටර් පිටුවෙහි සටහන් කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon