සමාගම් විධායක නිලධාරියා අධිකරණය හමුවේ පාපෝච්චාරණය කළේ ස්වේච්ඡාවෙන්

  👤  895 readers have read this article !
By mawbima 2018-09-21

කේ.එස්. උදයකුමාර්

2012 වසරේ රත්මලාන ප්‍රදේශයේ පිහිටි නිවෙස තුළ සිය බිරිය සහ සිඟිති දරුවන් දෙදෙනා ගිනිතබා මරා දමනු ලැබුවේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු සමාගම් විධායක නිලධාරියකු විසින් මෙම අපරාධයට අදාළව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ දුන් පාපෝච්චාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් යැයි කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා තීන්දු කළේය.

2012 වසරේ දෙසැම්බර් මස 20 වැනිදා සිය අනියම් පෙම්වතිය විවාහ කර ගැනීමේ චේතනාවෙන් තම නීත්‍යනුකූල බිරිය සහ සිඟිති දරුවන් දෙදෙනා නිවෙස තුළ පුලුස්සා මරා දැමුවේ යැයි චෝදනා කරමින් හිටපු සමාගම් විධායක නිලධාරියකු වන විජේමුනි මධුර මනුරංග ද සිල්වා නමැති විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් පවරා තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරු එම වකවානුවේ ගල්කිස්ස මහෙස්ත්‍රාත් ලෙස කටයුතු කළ නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය, ඉදිරියේ ප්‍රකාශයක් දුන් අතර එම ප්‍රකාශය පැමිණිල්ලේ සාක්ෂියක් වශයෙන් ලකුණු කිරීමට පැමිණිල්ල මෙහෙයවන රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය වෙතින් ඉල්ලීමක් කර තිබිණි. එම ඉල්ලීමට විරෝධය පළකර සිටි විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විත්තිකරු මහෙස්ත්‍රාත්වරිය හමුවේ මෙවැනි ප්‍රකාශයක් දුන්නේ පොලිසිය කළ බලපෑම් හේතුවෙන් බවත් එය ඔහු ස්වේච්ඡාවෙන් දුන් ප්‍රකාශයක් නොවන බව පෙන්වා දුන්නේය. මේ හේතුවෙන් විත්තිකරුගේ අදාළ ප්‍රකාශය පැමිණිල්ලේ සාක්ෂියක් ලෙස ලකුණු කිරීම සම්බන්ධයෙන් තමා විරුද්ධ වන බවද විත්තියේ නීතිඥවරයා අධිකරණයට දන්වා තිබිණි.

මේ සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ප්‍රකාශ කළේ විත්තිකරු ගල්කිස්ස හිටපු මහෙස්ත්‍රාත්වරිය වෙත මෙම ප්‍රකාශය ලබාදී ඇත්තේ කිසිදු බලපෑමකින් හෝ තර්ජනයකින් තොරව බව පෙනී යන බවය. ඒ අනුව, විත්තිකරුගේ ප්‍රකාශය ඔහු විසින් ස්වේච්ඡාවෙන් ලබාදුන් එකක් යැයි තීන්දු කළ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා එම ප්‍රකාශය පැමිණිල්ලේ සාක්ෂියක් වශයෙන් සටහන් කිරීමට පැමිණිල්ලට අවසර දුන්නේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon