කසිප්පු ජාවාරම්වලට එරෙහි වූ එක්දරු පියා මැර කණ්ඩායමකගේ පහර කෑමෙන් මරුමුවට

  👤  836 readers have read this article !
By mawbima 2018-09-21

කුරුවිට - කේ.ඒ.එස්. පියතිලක

ප්‍රදේශයේ කසිප්පු ජාවාරම්වලට එරෙහි වූ රත්නපුර පාම්ගාඩ්න් ප්‍රදේශයේ පදිංචි විවාහක තරුණයකුව කිසියම් මැර පිරිසක් පෙරේදා (19දා) සවස පැහැරගෙන ගොස් පහරදී ඝාතනය කර ඇත.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පාම්ගාඩ්න් ගොළුවාවිල ප්‍රදේශයේ පදිංචි විවාහක එක්දරු පියකු වූ ධනපාලම් විජේරත්නම් නමැති 32 හැවිරිදි ද්‍රවිඩ තරුණයෙකි. ඔහුගේ පියා සිංහල අයකු වන අතර මව ද්‍රවිඩ ජාතික කාන්තාවකි. මෙසේ ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ මළ සිරුර පාම්ගාඩ්න් වතුයායේ අන්නාසි බෝක්කුව අසල දමා සැකකරුවන් පැනගොස් ඇත. මෙම ඝාතනයත් සමඟ එම ප්‍රදේශයේ නොසන්සුන්තාවක් ඇතිව තිබේ.

ප්‍රදේශයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ වනවිට යොදවා ඇත. ඝාතනය කළ බවට සැක පුද්ගලයාගේ නිවෙසට යම් පිරිසක් පහරදී අලාභහානි කර ඇති අතර එම නිවෙසටද පොලිස් ආරක්ෂාව දී ඇත. සැකකරුවන් මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇත.

මේ පිළිබඳව සොයා බැලීමට අද පෙරවරුවේ රත්නපුර දිස්ත්‍රික් සිවිල් සංවිධාන සම්මේලනයේ මත්ද්‍රව්‍ය නිවාරණ අනුකමිටුවේ සභාපති පූජ්‍ය ඉහලවත්තේ ගුණවංශ හිමියන් ඇතුළු පිරිසක් එම ප්‍රදේශයේ සංචාරය කර එහි ජනතාව දැනුවත් කරමින් පවසා සිටියේ මේ සිද්ධිය මුල්කර ගනිමින් ජාතිවාදී ගැටුම්ද ඇතිකිරීමට සමහර අය කටයුතු කළ හැකි බැවින් හැම දෙනාම සාමකාමීව මෙම ගැටලුව නිරාකරණය කර ගැනීමටත් වැරැදිකරුවන්ට නීතියෙන් උපරිම දඬුවම් දීමට සියලු දෙනා සහයෝගයෙන් කටයුතු කළ යුතු බවයි. අපි සියලු දෙනා මෙම මත්උවදුර තුරන් කිරීමටත් මත්ජාවාරම්කරුවන්ට එරෙහිව කටයුතු කිරීමටත් ඇප කැප වී ක්‍රියා කළ යුතු බවද උන්වහන්සේ පැවැසූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon