මාධ්‍යවේදීන් මඟ හරී ඇමැති පමණක් හමුවෙයි

  👤  2575 readers have read this article !
By mawbima 2018-09-21

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටයේදීම බංග්ලාදේශ කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම ඉදිරියේ අන්ත පරාජයට පත්වෙමින් වේලාසනින්ම ගෙදර එන්නට සිදුවූ ඇන්ජිලෝ මැතිව්ස් ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම පෙරේදා (19දා) රාත්‍රියේ 8.00ට පමණ ශ්‍රී ලංකාවට පැමිණියද ඔවුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (20දා) පෙරවරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැත්වීමට තිබූ විශේෂ මාධ්‍ය හමුව හදිසියේම අවලංගු කරන්නට ක්‍රිකට් බලධාරීන් තීරණය කළේය.

ඊයේ පෙරවරු 10.30ට එම මාධ්‍ය හමුව පැවැත්වෙන බවට පෙරේදා (19දා) සියලුම මාධ්‍ය ආයතන වෙත දැනුම් දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මාධ්‍ය ඒකකයම මාධ්‍ය හමුව කල්දැමූ බවට යළිත් පෙරේදා මධ්‍යම රාත්‍රියේම විද්‍යුත් තැපෑල පණිවුඩයක් එවා තිබුණ අතර පෙරේදා රාත්‍රියේ කටුනායකින් බැසගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු රාජකාරිය වී තිබුණේ කොළඹට පැමිණ සංචාරක හෝටලයකට ගොස් ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු ක්‍රිකට් බලධාරීන් හමුවීමය. එසේ ශ්‍රී ලංකා කණ්ඩායම රාත්‍රියේ පැවැති සාකච්ඡාවලින් පසුව පසු දින (20දා) පැවැත්වීමට නියමිතව තිබූ මාධ්‍ය හමුව අවලංගු කළද ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා සහ පුහුණුකරුවා ලංකාවට පැමිණි දිනයේ (19දා) රාත්‍රියේ මාධ්‍යවේදියකු ප්‍රශ්න අසන විට ගුවන් තොටුපොළේදීම කියා තිබුණේ පසුදා මාධ්‍ය හමුවක් තිබෙන බවයි.

එහෙත් ඔවුන් කී පරිදි මාධ්‍ය හමුව නොපැවැත්වූ අතර ඒ පිළිබඳව විමසූ විට ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය කළමනාකරුවා අප වෙත ඊයේ (20දා) පවසා සිටියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රාත්‍රියේ පැමිණීමත් ගමන් විඩාවත් නිසා එකී මාධ්‍ය හමුව කල්දැමූ බවයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියට පිටත්ව යන මොහොතේ මාධ්‍ය හමුවක් පවත්වා ප්‍රසිද්ධියක් දීමට කටයුතු කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කණ්ඩායම යළි පැමිණීමේදී මාධ්‍යයට වසන් කළ අතර 19දා රාත්‍රියේ කණ්ඩායම සමග සාකච්ඡාවට සහභාගී වූ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා "මව්බිම" ට කියා සිටියේ ක්‍රිකට් කණ්ඩායමේ පසුබෑම පිළිබඳව තමාගේද දැඩි අසතුට ප්‍රකාශ කළ බවයි.

තවදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා මේ ලැබූ පරාජයන් නිසා ක්‍රිකට් ගැන කලකිරීමක් අද රටේම මතුවෙලා තිබෙනවා. ඒ නිසා මම කණ්ඩායමට කිව්වා මීළඟ ශ්‍රී ලංකා - එංගලන්ත තරගාවලියේදීවත් වෙනසක් කරල පෙන්වන්න කියලා. අපි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට හැම පහසුකමක්ම දීලත් මේ දක්වන දස්කම් ගැන අපි කාටවත් සෑහීමකට පත්වෙන්න බැහැ." යනුවෙන්ද පැවැසීය.

සටහන - සිරිනාම

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon