20වැනි සංශෝධනයෙන් මහින්දට වැඩි වාසි ලැබෙනවා

  👤  2615 readers have read this article !
By mawbima 2018-09-21

පෞද්ගලික යෝජනාවක් ලෙස තම පක්ෂය ඉදිරිපත් කර ඇති විසි වැනි සංශෝධනයේ වැඩි වාසි හිමිවන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැවැසීය.

අනුර කුමාර දිසානායක මහතා පසුගියදා මල්වතු මහ නාහිමියන් බැහැ දැක ආශීර්වාද ලබාගැනීමෙන් පසු ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විසි වැනි සංශෝධනය පිළිබඳව නාහිමියන් දැනුවත් කරමින් මෙසේද කීය.

දැනට රටේ තිබෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න විසි වැනි සංශෝධනය අප පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ලෝකයේ ජනාධිපති ක්‍රමය සහ පාර්ලිමේන්තු ක්‍රමය කේන්ද්‍ර කරගත් පාලන ක්‍රම තිබෙනවා. අප රට වසර හතළිහක් ජනාධිපති කේන්ද්‍ර කරගෙන පාලනය කළා. ඒ නිසා ඒ පාලන ක්‍රමය අසාර්ථකයි කියා අප විශ්වාස කරනවා.

ඒ නිසා පාර්ලිමේන්තුව ප්‍රමුඛ කොටගත් පාලන ක්‍රමයකට අප රට පරිවර්තනය විය යුතුයි. 1994 සිට ජනාධිපතිවරුන් සියලු දෙනාම මැතිවරණවලදී කීවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියන පොරොන්දුවයි. නමුත් ඒ සියලු දෙනාම බලය ලබාගත් පසුව එය ඉටුකර ගැනීමට යොදවා තිබෙන්නේ අවම ප්‍රයත්නයක්.

වත්මන් පාලනය යටතේ අප බලා සිටිය දෙය සිදුවුණේ නැහැ. ඒ සඳහා උත්සාහයක් ගන්න බවක්වත් පේන්නෙ නෑ. ඒ නිසායි අප පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් ලෙස මේ විසිවැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ආවේ. මේ පිළිබඳව වැරැදි අර්ථකතන කීපයක් තිබෙනවා. ඉන් එකක් තමයි වර්තමාන අගමැතිවරයාට බලය ලබාදෙන්න දරන ප්‍රයත්නයක් කියලා. ඇත්තම කියනවා නම් මෙහි විශාලම වාසිය ලැබෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂටයි. ඔහුට රටේ රාජ්‍ය නායකයා වෙන්න බැහැ. නමුත් මේ සංශෝධන තුළින් ඔහුට පැමිණෙන්න අවස්ථාව තිබෙනවා. නමුත් ඊළඟ අවස්ථාව ලැබෙන්නේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාටයි. ඔහුගේ ධුර කාලය 2020 ජනවාරි 20 වැනි දිනට අවසන්. නමුත් නව ජනාධිපතිවරයෙක් අලුත් පාර්ලිමේන්තුවෙ තෝරා පත් කරගන්නා තෙක් ඔහුට එම ධුරයේ විසිවැනි සංශෝධන යටතේ කටයුතු කරන්න පුළුවන්.

විසිවැනි සංශෝධනය ක්‍රියාත්මක වන්නේ ජනවාරි මස 9 වැනි දිනයි. ඒ නිසා මාස දෙකක් ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කියලා අප යෝජනා කරනවා. එවිට මාස හතක කාලයක් මේ ආණ්ඩුවට අඩු වෙනවා. ඒ කියන්නේ මින් වැඩියෙන්ම අසාධාරණයක් සිදුවන්නේ ආණ්ඩුවටයි. 13 වැනි සංශෝධනයට ඇති කිසිදු බලයක් මෙම විසිවැනි සංශෝධනයෙන් වෙනස් වන්නේ නැහැ. අප ඔබ වහන්සේ හමුවන්න ආවෙත් ඒ වෙනුවෙන්මයි. මේ රටේ යුද්ධයක් පවතිද්දීත් මේ සෑම කෙනාම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කටයුතු කළ අයයි. අපේ අරමුණ වන්නේ තනි පුද්ගලයෙක් කේන්ද්‍ර කරගත් ආණ්ඩුවකට වඩා පාර්ලිමේන්තු ක්‍රමයට මූලිකත්වය දීමයි.

මල්වතු නාහිමි :- පොලිස් බලතල ඉඩම් බලතල ඒ අයට ලැබුණොත් එය වළක්වන්න ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමය පමණයි. මේ තුළින් එය කිරීමට නොහැකි වෙයි.
අනුර කුමාර දිසානායක මහතා

දහතුන් වැනි සංශෝධනයත් විධායක ජනාධිපති ධුරයත් අතර දැන් ගැටුමක් නිර්මාණය වී තිබෙනවා. දහතුන් වැනි සංශෝධනය යුද්ධය පවතිද්දීත් තබාගෙන ජනාධිපතිවරුන් කටයුතු කළේ. ඒ අවස්ථාවේදීත් මේ සියලු දෙනාම ඒ වෙනුවෙන් පෙනී සිටි බවද අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. ඉඩම් බලය ජාතික ඉඩම් කොමිෂන් සභාව හරහා ක්‍රියා කරගෙන යනු ඇතැයිද ඔහු පැවැසීය.

මහනුවර - ගයා ශ්‍රි කාරියවසම්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon