අද හුඟක් සම්මුඛ සාකච්ඡාවල අරමුණ පුද්ගලයා පිම්බීම හෝ ඇන්දවීමයි-අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් (මාධ්‍ය) සමන් අතාවුදහෙට්ටි

  👤  2584 readers have read this article !
By mawbima 2018-09-21

දෙනගම ධම්මික රණවීර,

හර්ෂණී අර්සකුලරත්න

සම්මුඛ සාකච්ඡාවට සහභාගි කරගන්නා පුද්ගලයා පිළිබඳ අර්ථවත් පින්තූරයක් චිත්‍රණය කරන්නට 'සොඳුරු රස්තියාදුව' කෘතියේ කර්තෘ නුවන් හෙට්ටිආරච්චි සමත් වී ඇතැයි අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් (මාධ්‍ය) ජේ‍යෂ්ඨ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි ප්‍රකාශ කළේය.

ඔහු එසේ පැවැසුවේ 'මව්බිම' පුවත්පතේ මාධ්‍යවේදියකු වන නුවන් හෙට්ටිආරච්චි රචිත "සොඳුරු රස්තියාදුව" කෘතිය ජනගත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් මහවැලි කේන්ද්‍රයේ ඉකුත් 18දා පැවැති උත්සවයේ ආරාධිත දේශනය පවත්වමිනි.

නුවන් හෙට්ටිආරච්චි විසින් ඉරිදා ඇපල් පුවත්පතට ලියන ලද සම්මුඛ සාකච්ඡා එකතුවකින් 'සොඳුරු රස්තියාදුව' කෘතිය සම්පාදනය කොට තිබිණි. සිලෝන් නිවුස් පේපර්ස් ආයතනයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ටිරාන් අලස්, 'මව්බිම' ප්‍රධාන කර්තෘ බෙනට් රූපසිංහ මහත්වරුන් ඇතුළු සම්භාවනීය පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති උත්සවයකදී එම කෘතිය ජනගත කෙරිණි.
එහිදී වැඩිදුරටත් සමන් අතාවුදහෙට්ටි මහතා මෙසේද පැවැසීය.

ජනමාධ්‍යවේදීන් සම්මුඛ සාකච්ඡා නොකළ යුත්තේ කෙසේද කියන කාරණය සම්බන්ධව මතක තබා ගත නොහැකි තරමට උදාහරණ තිබෙනවා. සම්මුඛ සාකච්ඡා කියන්නෙ බරපතළ විෂයක්. බැහැයි ඒක ගොඩක් අය බරපතළ විධියට ගණන් ගන්නෙ නැහැ. ඒ නිසා බොහොමයක් සම්මුඛ සාකච්ඡා නීරසයි. ඒකාකාරියි.

සම්මුඛ සාකච්ඡා මෙහෙයවන්නා තමන්ගෙ කොම්පැනියේ කාර්යභාරය හෝ තමන් මෙහෙයවන දේශපාලනඥයාගේ කාර්යභාරය කරනවා. මේ නිසා සහභාගි වන පුද්ගලයාගේ අවශ්‍ය ගුණය උකහා ගන්න ලැබෙන්නෙ නැහැ. රස මතුවන්නෙත් නැහැ. සමස්ත පාඨකයා, ප්‍රේක්ෂකයා හෝ අසන්නා තුළ ගැම්මක් මතු වන්නේ නැහැ.

අද හුඟක් සම්මුඛ සාකච්ඡාවල අරමුණ සහභාගි වන පුද්ගලයා පිම්බීම හෝ ඇන්දීමයි. සමහර සම්මුඛ සාකච්ඡා මාළු කඩයක කෑකෝ ගැසීම වගෙයි, අවාසනාවකට අපේ පාඨකයොත් එහෙම වෛරයෙන්, කේ‍රා්ධයෙන් බෙරිහන් දුන්නෙ නැත්නම් එම වැඩසටහන දියාරුයි කියල හිතනවා.

සම්මුඛ සාකච්ඡාව මෙහෙයවන්නා නියෝජනය කළ යුත්තේ තමන්ගේ පාඨකයා හෝ ශ්‍රාවකයා. සාකච්ඡාවට පැමිණෙන පුද්ගලයා ගැන දැනගන්න අවශ්‍ය කරුණු, විසඳගන්න ගැටලු තියෙනවා. ඒ පුද්ගලයා ගැන විවේචන තියෙන්න පුළුවන්, ප්‍රසාදයක් තියෙන්න පුළුවන්. එම පාඨක ශ්‍රාවක මතය නියෝජනය තමයි සම්මුඛ සාකච්ඡා මෙහෙයවන්නාගේ කාර්යභාරය විය යුත්තේ. එහෙම කරන මාධ්‍යවේදීන් දිගු කාලයක් මතකයේ රැඳෙනවා. එහෙම නොවන අය කෙටි කලකින් අමතක වෙනවා. ඔහුගේ පැවැත්ම කෙටියි. ජනප්‍රියත්වය මල් වෙඩි වගේ ක්ෂණිකයි.

නුවන්ගේ සම්මුඛ සාකච්ඡා කියවද්දී මට දැනුණු දේ තමයි වෙහෙසකර නමුත් නිවැරදි මාවතට අවනත වෙලා සිටිනව කියලා. ඔහු සම්මුඛ සාකච්ඡා ක්ෂේත්‍රයට අවතීර්ණ වන්නේ අහම්බෙන්, පත්තර කලාවටත් එහෙමයි.
සම්මුඛ සාකච්ඡාවට සහභාගි කරවන පුද්ගලයා පිළිබඳ අර්ථවත් පින්තූරයක් චිත්‍රණය කරන්නට ඔහු සමත් වී තිබෙනවා. ඔහු තෝරා බේරා ගෙන ප්‍රශ්න අහනවා. ඒවා පුම්බන්න හෝ අන්දන්න අහන ප්‍රශ්න නොවෙයි.
සම්මුඛ සාකච්ඡාවක් හැඩ වෙන්නෙ එම පුද්ගලයාගේ අභ්‍යන්තරය මතු කරගන්න ප්‍රශ්න අසන්නා සමත් වුණොත් විතරයි. එම කුසලතා නුවන්ට තිබෙනවා. හරි පාරට වැටුණම තව යන්න තියෙන දුර බොහොමයි.
මේ කෘතියේ නම 'සොඳුරු රස්තියාදුව'. මේ රස්තියාදුව කියන වචනය ගැන සමාජයේ බොහෝ කතාවක් ඇති වෙලා තිබෙනවා.

ශ්‍රී සුමංගල ශබ්ද කෝෂයට අනුව රස්තියාදුව කියන්නෙ වැඩක් නැතුව නිකං කල් ගෙවීම, ආචාර්ය හරිශ්චන්ද්‍ර විජේතුංග සම්පාදනය කළ ගුණසේන ශබ්ද කෝෂයට අනුව "රස්තියාදුව" කියන්නේ පලක් නැති, නිකරුණේ කල් ගෙවන වැනි අරුතක්. වචන අර්ථයෙන් ගත්තොත් නුවන්ගේ සම්මුඛ සාකච්ඡා රස්තියාදු ගණයට වැටෙන්නේ නැහැ. මේවා පලක් ඇති, වැඩක් ඇති ගණයටයි වැටෙන්නෙ. කාලයත් සමඟ වචන අර්ථ වෙනස් වෙනවා. රස්තියාදුත් එහෙම වෙයි කියලා අපි බලන් ඉන්නවා.
මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස,
මේ පොතේ අපූර්වත්වයක් මා දුටුවා. බොහෝ මාධ්‍යවේදීන් කෘතිය කියවන්නෙ නැතුව, නාට්‍යය, චිත්‍රපට, බලන්නෙ නැතුව විවරණ කරනවා. සමහර විට ලේඛකයාගෙන්ම අහනව ලියපු පොත් මොනවද කියලා. කේ. ජයතිලක මහතාට ඔයා කියල කතා කළ හැටිත් මම අසා තිබෙනවා. හෝම්වර්ක් නොකිරීම පුවත්පත් කලාවේ ඛේදවාචකයක්.
වේගවත් තරගකාරී සමාජයකට සරල කියවීම් අවශ්‍යයි. මම සොඳුරු රස්තියාදුවට කැමැති වුණේ එම ගුණය ආරක්ෂා කළ නිසයි. මිනිසුන්ට, සොබාදහමට ආදරය කරන්න කියල දෙන වර්ගයේ පුවත්පත් කලාවේදීන් අපට අවශ්‍යයි.

සිලෝන් නිවුස්පේපර්ස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර පරණතන්ත්‍රි,
කලා රසය හඳුනන සංවේදී අදහස් වගේම තාරුණ්‍යයට සමීප, තාරුණ්‍යයේ චමත්කාරය ඔප්නංවන්න නිදහසේ ලියන්න පුළුවන් දේවල් වෙනුවෙන් නුවන්ගෙ හිත යොමුවී තිබෙනවා. 'මව්බිම' පුවත්පතේ 'යං' අතිරේකයට ලිවීමට අමතරව ප්‍රවෘත්ති ලියන්න කැමැත්තක් ඔහු මුලදී දැක්වූයේ නැහැ. ඒත් ප්‍රවෘත්ති එක දෙක පළවන විට ඊට උනන්දුවක් ඇති කරගත්තා.

වෘත්තීය පුවත්පත් කලාවේදියෙක් වෙලා අවුරුදු දෙක තුනක් ඇතුළත තවත් පුවත්පතකට ලියූ ලිපි පෙළක් පාදක කරගෙන පොතක් එළිදක්වන්න ලැබීම නුවන් ලැබූ ජයග්‍රහණයක්. ජීවිතයේ තරුණයෙක් තරණය කරන්නට ඉතාම අසීරු ගමනක්, නුවන්ගේ වචනවලින්ම කියනවා නම් කට්ටක් කාල ආපු තරුණයෙක් ලෙස ඔහු හැඳින්විය හැකියි. ඒ සඳහා තිබූ උනන්දුව පුවත්පත් කලාව ඉදිරියට ගෙන යන්න කැප කරනවා නම් විශාල අනාගතයක් ඔහුට එළඹෙනවා.

පත්තර රක්ෂාව වෙනුවෙන් රත්නපුරයේ අෑත ගමක තරුණයකු දුෂ්කරතා ජයගත් ආකාරය තමයි මෙලෙස ජනගත වෙන්නෙ. ඒ ආශීර්වාදය ඔහුට ලැබෙන පන්නරයක් වෙනවා.
'ඉරිදා ඇපල්' පුවත්පතේ කර්තෘ සංජක ප්‍රසාද් ‍ෙදාළේවත්ත,
යෞවනයේ බොහෝ අයට රස්තියාදුවක් නැති නිසා අත්දැකීම් අහිමි වෙනවා. ඒ නිසාම ඔහුට ගැම්මක් නැති වෙනවා. ඒත් වුවමනාවෙන්ම නුවන් සොඳුරු රස්තියාදුවට ළංවී තිබෙනවා.
ආනන්ද කොඩිතුවක්කු මහතා,
මිනිසුන්ගෙ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය කිසිවකුගේ හමුවීමෙන් ඇති වෙනවා. නුවන් අනිත් අයගේ නාඩි මනා ලෙස ස්පර්ශ කරමින් එම හැරවුම් ගොඩනඟාගෙන තිබෙනවා. ඔහු සොඳුරු රස්තියාදුව ඔස්සේ මිනිසුන්ගේ ආධ්‍යාත්මය සොයා යන්නෙක්. මේක එවන් නිර්මාණකරුවන් රටට අවැසි යුගයක්.
ඇපජි හෝල්ඩින් සහ සිලෝන් නිවුස්පේපර් ආයතනයේ සභාපති ටිරාන් අලස්, අලෙවි අධ්‍යක්ෂ මානෙල් ධර්මකීර්ති ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

ඡායාරූප - දුමිඳු වනිගසේකර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon