පාසල් ප්‍රේමය කඩවීමෙන් සිසුවෙක් දුම්රියට ගෙල තබා දිවිතොර කර ගනී

  👤  2854 readers have read this article !
By mawbima 2018-09-21
අනුරාධපුර - මහේෂ් විජේසූරිය

පාසල් සිසුවියක් සමඟ පැවැති පෙම් සබඳතාවක් හේතුවෙන් සිත්කලකිරීම නිසා උතුරු දුම්රිය මාර්ගයේ ධාවනය වූ යාල්දේවී නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියට ගෙල තැබීමෙන් අනුරාධපුර නගරයේ පිහිටි ප්‍රසිද්ධ මිශ්‍ර පාසලක ඉගෙනුම ලැබූ උසස් පෙළ සිසුවකු බරපතළ තුවාල ලබා අවාසනාවන්ත අයුරින් ජීවිතක්ෂයට පත්වී ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශය සඳහන් කළේය.

පෙරේදා (19දා) සවස කන්කසන්තුරේ සිට ගල්කිස්ස දක්වා ධාවනයවූ යාල්දේවි නගරාන්තර ශීඝ්‍රගාමි දුම්රියට ගෙල තබා සියදිවි තොර කරගෙන ඇත්තේ 17 හැවිරිදි උසස් පෙළ සිසුවෙකි. ඔහු 13 වන ශේ‍ර්ණියේ තොරතුරු තාක්ෂණ අංශයේ අධ්‍යාපනය ලැබූ අයකු වන අතර සිසුවා අනුරාධපුර නව නගර බස් නැවතුම පිටුපසින් දිවෙන දුම්රිය මාර්ගයෙන් දුම්රියට ගෙල තබා තිබූ බව පොලිසිය පැවසුවේය.

දිවිතොර කරගත් සිසුවා පෙරේදා (19දා) උදෑසන සිය පියා සමඟ අනුරාධපුර නව නගරයේ පැවැති අමතර පන්තියට පැමිණ තිබෙන අතර සිසුවා පන්තියට ඇරලවා පියා නිවෙසට ගොස් තිබෙන බව පොලිසිය අනාවරණය කරගෙන තිබිණි. සවස 1.30ට පමණ සිසුවා පෙම්වතිය බවට සැකකරන තරුණියක සමඟ අනුරාධපුර නව නගර බස් නැවතුම ආසන්නයේ කතා බස් කරමින් සිටින අයුරු ඔහුගේ මිතුරන් පිරිසක් දැක තිබෙන බවද පොලිසිය පැවසුවේය.

අනතුරුව සිසුවා 2.05ට පමණ උතුරු දුම්රිය මාර්ගය ඔස්සේ කොළඹ දෙසට ධාවනය වූ යාල්දේවි දුම්රියට ගෙල තබා තිබෙන බවත් අනතුරින් සිසුවාගේ ගෙල කදින් වෙන්වී දෙඅත් උරහිසින් වෙන්වී තිබුණු බව පොලිසිය සඳහන් කළේය. රියැදුරා කිසියම් පුද්ගලයකු දුම්රිය මාර්ගයේ වැතිර සිටින අයුරු දුටු අවස්ථාවේ වහාම හදිස්සි තිරිංග පද්ධතිය ක්‍රියාත්මක කරත් දුම්රිය මුළුමනින්ම නවතා ගැනීමට ඔහුට හැකිවී නොතිබිණි.
සිය පුත්‍රයා පවුලේ වැඩිමහල් දරුවා බවත් ඔහුට නිවෙසේ කිසිදු ගැටලුවක් නොතිබූ බවත් සිසුවියක සමඟ පෙම් සබඳතාවක් පවත්වන්නට ඇති බවට සැකපහළ කරන බවත් පියා අනුරාධපුර ශික්ෂණ රෝහලේ පැවති හදිසි මරණ පරීක්ෂණයේදී පවසා තිබිණි. අනුරාධපුර ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්‍ෂක එච්.එම්. කුලසේකර මහතා හදිසි මරණ පරීක්ෂණය පැවැත්වූ අතර පශ්චාත් මරණ පරීක්ෂණය අධිකරණ වෛද්‍ය කේ.ඒ. කරුණාතිලක මහතා විසින් පවත්වා දේහය මවුපියන්ට මුදාහැර තිබිණි.
අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.කේ. අබේරත්න මහතාගේ උපදෙස් මත පොලිස් කොස්තාපල් ලියනගේ (47870) මහතා පරීක්ෂණ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon