එල්ලංගා වාරි ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් අද (21දා) ඇරැඹේ

  👤  2482 readers have read this article !
By mawbima 2018-09-21

පහන් විජේසේකර

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන එල්ලංගා වාරි ප්‍රතිසංස්කරණ දීප ව්‍යාප්ත ක්‍රියාන්විතය යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය අද (21දා) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මහවිලච්චිය නබඩගස්දිගිලිය වැව අසලින් ආරම්භ කෙරේ.

එහි පළමු අදියර ලෙස මහවිලච්චිය සහ නොච්චියාගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි වැව් 17ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා තෝරා ගෙන තිබේ.

ප්‍රතිසංස්කරණය කරනු ලබන එක් එක් වැව් ආශ්‍රිතව එම ප්‍රදේශයන්හි ජීවත් වන ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා සමගාමී ක්‍රියාකාරකම් රැසක්ද මේ සමඟ ආරම්භ වන අතර ඒ යටතේ කෘෂිකාර්මික කටයුතු, ධීවර කටයුතු, සංචාරක කර්මාන්තය, අගය එකතු කළ නිෂ්පාදන ප්‍රවර්ධනය හා සමාජ සංවර්ධන කටයුතුවලට අදාළ ව්‍යාපෘති රැසක්ද, සංවර්ධන කටයුතුවලට අදාළ උප ව්‍යාපෘති රැසක්ද ක්‍රියාවට නැංවෙනු ඇත.
වැව් 2,400ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ සිදුකරන මෙම ක්‍රියාවලිය ශ්‍රී ලංකාවේ පළාත් ගණනාවකට දියත් කරමින් පවතින අතර එහිදී සිදු කෙරෙන වැව් ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ලම සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉන්ජිනේරු බළකාය විසිනි.

මෙම වැඩසටහන යටතේ මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නබඩගස්දිගිලිය හැලඹ වැව, මහ මිල්ලගොල්ලෑව, ඉහළ මිල්ලගොල්ලෑව, ඉහළ හැලඹ, ගලහිටියාව, දුනුමඩලාව හා ඉහළ ඇතා වැව යන වැව්ද නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉහළ ගල්කිරියාගම, දිවුල්වැව, පහළ ගල්කිරියාගම, සියඹලාකෙටිය, ඉහළ කෝංගස්දිගිලිය, ලේන වැව, නයිවැව හා ඇළපත්ගම වැව්ද ප්‍රතිසංස්කරණය කෙරෙනු ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon