හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධනගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරයි

  👤  407 readers have read this article !
By mawbima 2018-09-20

කේ.එස්. උදය කුමාර්

රුපියල් මිලියන 40කට අධික වත්කම් සහ මුදල් අයථා ලෙස උපයාගත් බවට චෝදනා ලබා සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලික ලෙස ලිහිල් කරන ලෙසට කොළඹ මහාධිකරණය ඊයේ ආගමන හා විගමන පාලක වරයාට නියෝග කළේය.

විත්තිය විසින් ගොනුකරන ලද මෝසමක් මාර්ගයෙන් මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජයරත්න මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර රෝහිත අබේගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර සිටියේ නෝර්වීජියානු පාලන ක්‍රමය සහ සංහිඳියාව සම්බන්ධයෙන් පැවැත්වෙන වැඩමුළුවකට සහභාගි වීම සඳහා තම සේවාදායකයාට නෝර්වේ රාජ්‍යය වෙත යෑමට අවශ්‍යව ඇති බවයි. ඉන් අනතුරුව ඔහුට පෞද්ගලික සංචාරයක් සඳහා ඉතාලියට යෑමටද අවශ්‍යව ඇතැයි සඳහන් කළ එම නීතිඥවරයා ඒ සදහා මේ මස 30 වැනිදා සිට ඔක්තෝබර් මස 16 වැනිදා දක්වා කාල සීමාව තුළ දැනට පනවා තිබෙන විදේශ ගමන් තහනම ලිහිල් කරන්නැයි ඉල්ලා සිටියේය.

ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා විත්තිය ඉල්ලා සිටින කාලසීමාව සඳහා දැනට පනවා තිබෙන විදෙස් ගමන් තහනම ලිහිල් කළ අතර අධිකරණය භාරයේ රඳවා ගෙන සිටින විත්තිකරුගේ විදේශ ගමන් බලපත්‍රය රුපියල් ලක්ෂ 10ක පෞද්ගලික ඇපයක් මත මුදාහරින ලෙස නියෝග කළේය.

2004 වැනි වසරේ සිට 2006 වැනි වසර දක්වා කාල සීමාව තුළ අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් සිය නීත්‍යනුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 41.2ක් වටිනා වත්කම් හා මුදල් අයථා ලෙස උපායා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

මෙම නඩුවේ වැඩිදුර විභාගය ඔක්තෝබර් මස 19 වැනිදා පැවැත්වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon