DIG නාලක අනිවාර්ය නිවාඩු යවයි

  👤  2922 readers have read this article !
By mawbima 2018-09-20

ජේ.ටී. ද සිල්වා/ චාමර අමරසූරිය

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි
චෝදනා එල්ල වී ඇති ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අනිවාර්ය නිවාඩු යවන ලෙසට නීතිය හා සාමය අමාත්‍යාංශය ජාතික පොලිස් කොමිෂන් සභාවට දැනුම් දුන් බව නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා 'මව්බිම' ට පැවසීය.

ඔහුට එරෙහිව නැඟෙන චෝදනා සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයෙහි මූලික වාර්තාවක් රහස් පොලිසිය විසින් එම අමාත්‍යාංශයට ලබාදී ඇත.

එම වාර්තාවට අනුව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න මහතා ඔහු අනිවාර්ය නිවාඩු යැවීමේ නිර්දේශය පොලිස් කොමිෂන් සභාව වෙත ඊයේ (19දා) යොමුකර තිබේ.

එසේම නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාව වහාම ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය නිවාඩු යවන ලෙසටත්, ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන ලෙසටත්, ජාතික පොලිස් කොමිෂන් සභාව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ඊයේ (19දා) නියෝග කර ඇත.

එසේම මීට අදාළ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාව අද (20) දින රැස්වීමටද නියමිතය.

මෙම රැස්වීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාද සහභාගි වීමට නියමිතය.

රහස් පොලිසිය ආරම්භ කර ඇති විමර්ශනවලට අදාළව ඊයේ (19දා) දින සහකාර පොලිස් අධිකාරි ප්‍රසන්න අල්විස් මහතාගෙන් එම නිලධාරීන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයිද රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

එම නිලධාරියා ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන් හත් දෙනෙකු සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්වරයාව ඔවුන් දරන තනතුරුවලින් නෙරපීමට නාලක ද සිල්වා මහතා කුමන්ත්‍රණය කළ බවට දූෂණ විරෝධී බළකායේ අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා මහනුවරදී මාධ්‍ය හමුවක් පවත්වමින් අනාවරණය කර තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon