බස් ගාස්තු 4%කින් නඟී

  👤  2717 readers have read this article !
By mawbima 2018-09-20

උපතිස්ස පෙරේරා

දැනට ක්‍රියාත්මක වන රුපියල් 12ක් වූ අවම බස් ගාස්තුවේ වෙනසක් නොකර අද (20දා) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සියයට 4කින් වැඩි කිරීමට අවසර දිය හැකි බවට බස් සංගම් සමඟ පැවැති සාකච්ඡාවේදී ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ලබාදුන් තීරණයට බස් සංගම් නියෝජිතයන් එකඟ වූ බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පවසයි.

ප්‍රවාහන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ ඊයේ පැවති මෙම සාකච්ඡාවේදී පෞද්ගලික බස් හිමියන් ඉල්ලන සියයට 10ක බස් ගාස්තු වැඩි වීමත්, අවම ගාස්තුව රුපියල් 15 දක්වා නැංවීමත් කිසිසේත් කළ නොහැක්කක් බැවින් මේ සම්බන්ධයෙන් පත්කර ඇති විද්වත් කමිටුවේ උපදෙස් මත සියයට 4ක බස් ගාස්තු වැඩිවීමකට අවසර ලබාදිය හැකි බව අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

එමෙන්ම ඉදිරියේදී ඉන්ධන මිල සූත්‍රයට අනුව සිදුවන වෙනස සැලකිල්ලට ගෙන බස් ගාස්තු සංශෝධන ක්‍රමවේදයක් සකස් කිරීමට ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරීන්ට සහ අමාත්‍යාංශ ලේකම්වරයාට අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.

එමෙන්ම බස් ධාවනය සම්බන්ධයෙන් වන ගැටලු පිළිබඳ හා බස් ගාස්තුවට අදාළ නිර්ණයකයන් ලබන ජනවාරි මස 1 වැනිදාට පෙර සකස් කර අවසන් කරන ලෙසද අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon