දෙමළ ජනතාවගේ ඉල්ලීම් දිනා ගැනීමට වෙනත් විකල්පයක් තිබෙනවා නම් වහා එය ප්‍රකාශ කරන්න - පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන්

  👤  2780 readers have read this article !
By mawbima 2018-09-20

ලක්ෂ්මී ජයකොඩි

දෙමළ ජාතික සන්ධානයට චෝදනා එල්ල කරනු ලබන අයට දෙමළ ජනතාවගේ ඉල්ලීම් දිනා ගැනීමට වෙනත් විකල්පයක් තිබෙනවා නම් එය වහා විවෘත වේදිකාවේ ප්‍රකාශ කරන්නැයි එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි. මන්ත්‍රිවරයා මේ බව පැවැසුවේ ත්‍යාගි තීලිපන්ගේ 31 වැනි ගුණ සැමරුම් උත්සවය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා මෙසේද පැවැසුවේය.

"අපි ඉතිහාසය ගැන නොදැන කතා කරනවා කියා ඇතැම් අය අපට චෝදනා කරනවා. අපි අඛණ්ඩව අසන එක් ප්‍රශ්නයක් තිබෙනවා. මේ චෝදනා කරනු ලබන අයට තිබෙන විකල්පය කුමක්ද? එම විකල්පය විවෘත වේදිකාවේ ප්‍රකාශ කරන්න."

"නිකම්ම නිකම් ප්‍රකාශ මාධ්‍ය වෙත නිකුත් කිරීමෙන් හෝ ජනතා හැඟීම් අවුළුවන පරිදි වේදිකාවේ කතා කිරීමෙන් අරමුණු ඉෂ්ට කරගත හැකි යැයි සිතනවාද? අවිහිංසාවාදීව අරගල කොට මේ අරමුණු ජයග්‍රහණය කර ගැනීමට හැකි යැයි සිතනවාද? නැති නම් එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් මෙහෙයවනු ලැබූ ආයුධ සන්නද්ධ අරගලයට වඩා ප්‍රබල අරගලයක් ඔබ විසින් සිදු කිරීමට යනවාද?"

"ලෝක ඉතිහාසයේ කවරකුත් ස්පර්ශ කළ නොහැකි ස්ථානයක් ස්පර්ශ කළ පාබල හමුදාවක්, ගුවන් හමුදාවක්, නාවික හමුදාවක් තබාගෙන සිටි එල්.ටී.ටී.ඊ. සංවිධානයට වඩා ශක්තිමත් අරගලයක් ක්‍රියාත්මක කිරීමට සිතනවා දැයි මම අහන්න කැමැතියි. එම විකල්පයද අද ඔබ මේ ප්‍රකාශ කරමින් සිටින්නේ. එවැන්නක් ප්‍රකාශ කිරීමේ ධෛර්යයක් ඔබට තිබෙනවාද? එසේත් නොමැති නම් ඔබගේ විකල්පය කුමක්ද?

"කිසිදු විකල්පයක් ඉදිරිපත් නොකොට අප ගන්නා උත්සාහය විවේචනය කිරීම පමණද ඔබගේ කාර්යය? නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් මේ තරම් මහන්සි වෙන්නේ අපට වෙනත් විකල්ප නැති නිසායි. අපගේ අරමුණු දිනා ගැනීමට වෙනත් විකල්ප තිබෙනවා නම් කවරකු වුවත් කමක් නැහැ එය පවසන්න. අපගේ ක්‍රියාවලිය ජයග්‍රහණය කිරීමයි අපගේ අරමුණ"

"කෙසේ වෙතත් ඒ ස¼දහාත් අපට විකල්ප ක්‍රමයක් අනුගමනය කිරීමේ අවශ්‍යතාවක් පැනනැඟී තිබෙනවා. ඒ ඇයිද යත් මේ ආණ්ඩුවේ කාලය අවසන් වීමට යනවා. එය අපි අනිවාර්යයෙන්ම වෙනස් කරනවා. අප රට තුළදීම අපට විසඳුමක් ලබා ගැනීමට නම් අප සියලුදෙනා එකමුතු විය යුතුයි. ඔවුන් එකමුතු කළ යුතුයි."

"අප ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම් කිසිවක් නීත්‍යනුකූල නොවන ඒවා බව අප ඔවුන්ට ඒත්තු ගැන්විය යුතුයි. අපගේ් ඉල්ලීම් අසාධාරණ ඒවා නොවෙයි. අප ඉල්ලන්නේ ලෝකයේ ජීවත් වන ඕනෑම ජාතියකට හිමිව තිබෙන අයිතියයි. එය ඔවුන් පිළිගත යුතුයි. ඔවුන් එම ඉල්ලීම් පිළිගන්නා තැනට අප කටයුතු කළ යුතුව තිබෙනවා."

"අපගේ උරුමයන් කැප කිරීමෙන් නෙවෙයි අපගේ උරුමයන් සාධාරණ බව ඔවුන් පිළිගත යුතුයි. ඒ සඳහා අප කතා කළ යුතුයි. ඔවුන් ළඟට ගොස් අප කතා කළ යුතුයි. එකම ගාලක් තුළ දුව දුව සිටියොත් ඔවුන්ට වන දේවත් දැනගැනීමට නොහැකි වනු ඇත. මෙයින් කුමක් හෝ දෙයක් ඔබ කරනවාද?"

"ඒ වෙනුවට ජනතාවගේ සැකයන් තවත් වැඩි වන පරිද්දෙන් කටයුතු කරමින් සිටිනවාද? අපි ජනතාවගේ සැකය තවදුරටත් වැඩි කරන සැටියෙන් කටයුතු කළොත් අපට අපගේ ඉලක්කය සපුරාගත නොහැකි වනු ඇත. එයට ඔවුුන්ට බොරු ප්‍රකාශ කිරීමේ වුවමනාවක් නැහැ. අපගේ අයිතිය අපගේ අයිතියයි. නමුත් ප්‍රකාශ කරන ආකාරය, භාෂාව, ක්‍රමවේදය මේ සියල්ලක්ම වැදගත් බව තේරුම් ගත යුතුයි."

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon