ලලිත් හා ප්‍රේමදාස ඝාතන ගැන මැති සබයේ කතාබහක්

  👤  2934 readers have read this article !
By mawbima 2018-09-20

මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයම ගිනියම් වී දැඩි උණුසුමකට පත්ව ඇති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති හා ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණ කතාව සෑම දේශපාලන රැස්වීමකම ප්‍රධාන මාතෘකාව බවට පත්ව ඇත.

පාර්ලිමේන්තුවේ මැතිසබය පෙරේදා දිනයේ දැඩි උණුසුම්කාරී මුහණුවරක් ගත්තේ මෙම ඝාතන කුමන්ත්‍රණ කතාව හේතුවෙනි.

මෙම ඝාතන කුමන්ත්‍රණ කතාවට සම්බන්ධ බවට සැක කෙරෙන නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මේ වන විට අනිවාර්යය නිවාඩු යැවීමට තීරණය වී ඇත.
මෙම ඝාතන කුමන්ත්‍රණ කතාව ගැන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී ද දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

18 වැනිදා සවස 5.40ට පමණ කොළඹ 7 විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවෙසේදී මෙම රැස්වීම ආරම්භ විය.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී මුලින්ම අදහස් දැක්වූයේ විමල් වීරවංශ මන්ත්‍රිවරයාය. මෙම ඝාතන කුමන්ත්‍රණ කතාව සුළුවෙන් තැකිය නොහැකි බව විමල් වීරවංශ මන්ත්‍රිවරයා පෙන්වා දෙන ලදී.

"මේ ඝාතන කුමන්ත්‍රණ කතාව එළියට එනවාත් එක්කම බඩු මිලත්ඉහළ යනවා" යනුවෙන් විමල් ප්‍රකාශ කරන විට ජංගම දුරකථනයට ලැබුණු කෙටි පණිවුඩයකින් ප්‍රකාශ වුණේ ගෑස් මිලද ඉහළ දමා ඇති බවයි.

මේ කියනකොටත් ගෑස් මිලත් ඉහළ යනවා. මේ ඉහළ දැමීමෙන් පේන්නේ මේ ආණ්ඩුව මැතිවරණයකට නොයන බවයි. මැතිවරණයකට යනවා නම් මේ ආකාරයෙන් බඩුමිල ඉහළ දමන්නේ නැහැ. මැතිවරණයකට නොයනවා නම් ඊළඟට කරන්නේ නායකයන් මරාදමන්න සැලසුම් කිරීමයි. ඒක නිසා මේ ඝාතන කුමන්ත්‍රණ කතාව ගැන මීට වඩා ගැඹුරින් සිතා බැලිය යුතුයි" යනුවෙන් විමල් වීරවංශ විසින් පෙන්වා දෙන ලදී.

ඉන්පසුව අදහස් දැක්වීමට නැඟී සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද යාපා අබේවර්ධනයි.

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස, හිටපු අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි යන මහත්වරුන්ගේ ඝාතන සිද්ධි ගැන සහ මෙම ඝාතන කුමන්ත්‍රණ කතාව දෙස ඉතා සුපරීක්ෂාකාරීව බැලිය යුතු බව මහින්ද යාපා අබේවර්ධන පෙන්වා දුන්නේය.

"මේ ඝාතන කුමන්ත්‍රණ කතා එක්සත් ජාතික පක්ෂයට අලුත් දෙයක් නෙවෙයි. එදා ලලිත් ඇතුලත්මුදලි මහතා කිරුළපනේදී ඝාතනය කළේ කොටි සංවිධානයෙන් නෙවෙයි. පොලිසිය හා පාතාලය එක්වයි ඇතුලත්මුදලි මහතා ඝාතනය කළේ. එම සිද්ධියට ඇතැම් දේශපාලන නායකයන්ගේ ආශීර්වාදය හිමිවුණා. ලලිත් ඇතුලත්මුදලිට වෙඩි තැබීමට පෙර කිරුළපන ප්‍රදේශයේ ලයිට් කැපුවා. ලලිත්ගේ ඝාතනය ගැන ප්‍රේමදාස ජනාධිපතිවරයා දැනගෙන හිටියේ නැහැ.

පසුව මෙහි ඇත්ත සිද්ධිය ප්‍රේමදාස මහතා දැනගත්තා. මේ ගැන මැයි 1 වැනිදා ගාලු මුව‍ෙදාරදී ප්‍රකාශ කරනවා කියලා ප්‍රේමදාස මහතා කිව්වහම ඊට පෙර කොටි සංවිධානයේ සහයෝගයෙන් ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනය වුණා. මේ ඝාතන දෙකම ක්‍රියාත්මක වුණේ එකම තැනකින්. ඒ වගේ කතාවක් තමයි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා හා ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණ කතාව. ඒක නිසා මේ ඝාතන කුමන්ත්‍රණ කතාව ගැන ගැඹුරින් හොයන්න ඕන" යනුවෙන් මහින්ද යාපා අබේවර්ධන මන්ත්‍රිවරයා විසින් දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකරන ලදී.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දැඩි අවධානයකින් මෙම කතාවට සවන් දුන් අතර මේ ගැන ගැඹුරින් සිතා බැලිය යුතු බවද හිටපු ජනාධිපතිවරයාද ප්‍රකාශ කළේය.
මේ අතර ඊයේ (19දා) පාර්ලිමේන්තු විවාදයට පනත් කෙටුම්පත් 3ක් ගනු ලැබූ අතර කඳුරට නවගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් විසින් ඉදිරිපත් කරන ලද නවගම්මාන සංවර්ධන අධිකාරිය පනත් කෙටුම්පතට බොහෝ දෙනකුගේ අවධානය යොමු විය.

වැවිලි ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේ ප්‍රධාන අරමුණ බව දිගම්බරම් අමාත්‍යවරයා විසින් පෙන්වා දෙන ලදී.

විවාදයට එක්වූ ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මන්ත්‍රිවරයා ඉඩම් ලබාදීම කඩදාසි කැබැල්ලට පමණක් සීමා වී තිබෙන බව පෙන්වා දුන්නේය.

"එදා කිරිඇල්ලගේ කොළ දුන්නා. අද දිගම්බරන්ගේ කොළ දෙනවා. මේවා කොළ කෑලිවලට පමණක් සීමා වීමෙන් වතුකරයේ ජනතාවට සෙතක් සිදුවෙන්නේ නැහැ" යනුවෙන් විජිත හේරත් ප්‍රකාශ කළේය.

විජිත හේරත්ගේ මේ කතාවට ඒකාබද්ධ විපක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේද යමක් එක් කළේය.
"ජනවසමෙන් දෙන්නෙ කඩදාසි කෑල්ලක්. බෝඩ් ලෑල්ලක් දීලා වතුකරයේ ජනතාව රවට්ටනවා" යනුවෙන් මහින්දානන්ද අලුත්ගමගේ චෝදනා කළේය.

මේ චෝදනාවලට පාර්ලිමේන්තුවේ සභානායක, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල විසින් පිළිතුරු ලබාදෙන ලදී.
"වතුකරයේ ජනතාවට පර්චස් 7 බැගින් ලබා දෙන්න මුලින්ම දින 100 ආණ්ඩුව වෙලාවේදී කැබිනට් අනුමැතිය ලබාගත්තේ මමයි. ලියැවිල්ලක් සමඟ භුක්තියකුත් භාර දෙනවා. මීට පෙර කිසිම වතු කම්කරුවකුට භුක්තියක් තිබුණේ නැහැ. ඔබතුමාලා අවුරුදු 10ක් හිටියා වතු කම්කරුවන් වෙනුවෙන් කරලා පෙන්නුවාද?"
යනුවෙන් ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා විමසුවේය.

වතු කම්කරු ජනතාවට පර්චස් 7 බැගින් ලබාදීමට ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ගත් ක්‍රියාමාර්ගයට ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර තම ප්‍රසාදය පළ කළේය.

පර්චස් 7 ලබාදුන් පසුව නිවාස ඉදිකිරීම ගැන අවධානය යොමු කළ යුතු බවත් මුදල් නොමැති අධිකාරිය රෝද නැති වාහනයක් වීමට පුළුවන් බවද වාසුදේව නානායක්කාර මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තු සංකීර්ණයේ බිම් මහලේදී දේශපාලනඥයන් දෙදෙනකු පැමිණියේ ඉතා කුළුපග ලෙස කතා බස් කරමින්ය.

දෙදෙනාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් වුවද ඔවුන් මේ වන විට මතවාද දෙකක් වෙනුවෙන් පෙනී සිටී.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ කරට අත දාගෙන පැමිණියේ ඒකාබද්ධ විපක්ෂයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගමය.

මේ දෙදෙනා මේ ආකාරයෙන් ඉතා සුහද ලෙස ආ ගිය තොරතුරු කතාබස් කරමින් පැමිණෙන විට ඔවුන් දෙදෙනා ඉදිරියට පැමිණියේ රංජිත් මද්දුම බණ්ඩාර අමාත්‍යවරයාය.
"දෙන්නා මොකද කදේ දාගෙන" රංජිත් මද්දුම බණ්ඩාර අමාත්‍යවරයා විමසුවේය.

"මේ ඉන්නේ මගේ අගමැතිතුමා" යනුවෙන් කුමාර වෙල්ගම පැවැසුවේ රංජිත් මද්දුම බණ්ඩාර වෙත අත දිගු කරමිනි.
"ඒ මොකක්ද ඒ කතාව" යනුවෙන් දැඩි කුතුහලයකින් විමසා සිටියේ මහින්ද අමරවීරය.

"මං දැන් ඉන්නේ බදුල්ලේ. එතකොට උෟව පළාත තමයි අපේ රංජිත් මද්දුමබණ්ඩාර ඇමැතිතුමා නියෝජනය කරන්නේ" කියමින් කුමාර වෙල්ගම සිනාසෙමින් ප්‍රකාශ කළේය.

වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාසගෙන් තේ කර්මාන්තයට අදාළ ප්‍රශ්නයක් දයාසිරි ජයසේකර විසින් විමසූ අතර ඊට චම්පිකා ප්‍රේමදාස පිළිතුරු ලබා දුන්නේය. ඔබතුමා වැවිලිවලට සම්බන්ධ නොවුණට බීඩිවලට සම්බන්ධයි" දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේය. චම්පිකා ප්‍රේමදාස අමාත්‍යවරයා වසර ගණනාවක් තිස්සේ දේශීය බීඩි කර්මාන්තයේ යෙදී සිටීම ඊට හේතුවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon