අපට චෝදනා කරන්නේ ඇමැති ධුර දරා වරප්‍රසාද භුක්ති විඳිමින් සිට ආණ්ඩුවෙන් පලාගිය අයයි

  👤  2884 readers have read this article !
By mawbima 2018-09-20

තමා ඇතුළු පිරිසට චෝදනා කරන්නේ ඒකාබද්ධ විපක්‍ෂයේ සාමාජිකයන් නොව, තමන් ඇතුළු පිරිස සමඟ එකට සිට ඇමැතිකම් දරා වරප්‍රසාද භුක්ති විඳිමින් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතහැර ගිය පිරිස බව ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක පැවැසුවේය.

ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේදී ඊයේ (19දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා:
නිල්වලා ව්‍යාපෘතිය පිළිබඳව අද මාධ්‍යයේ කතාබහට ලක්වෙලා තියෙනවා. මේකේ මූලික කටයුතු ආරම්භ වුණේ 2009 වසරේදී. පසුගිය කාලේ මේ ව්‍යාපෘතිය ගැන දේශපාලන වේදිකාවෙත් කතා කළා. 2015 ජනවාරි 08 වැනිදා ඡන්දය තියනකොට 2015 ජනවාරි 07 වැනිදා කොහොමද මේ ව්‍යාපාරයට බිලියන 4ක් නිකුත් කළේ කියලා. මේ ගැන එෆ්.සී.අයි.ඩී. එකේ පරීක්‍ෂණ පැවැත්වුණා. දැන් මේක ආයෙත් පාරක් අපේ අමාත්‍යාංශයට ඇවිත් තියෙනවා. මේක ක්‍රියාත්මක කරන්න නම් ව්‍යාපෘතිය මුලින්ම ආරම්භ වෙලා පසුගිය කාලේ වෙනකොට ගාල්ල දිස්ත්‍රික්කයේ දේශපාලනඥයෝ අති බහුතරයක් ගාල්ලේ වතුර ටික හම්බන්තොටට දෙන්න විදියක් නැහැ එහෙම වුණොත් ගාල්ලේ ජනතාවට ජලය ටික නැති වෙනවා කියලා විරෝධයක් තිබුණා. ඒ අනුව ජනාධිපතිතුමා විසින් වාර කිහිපයක් සාකච්ඡා කරලා ඒ ව්‍යාපෘතියෙන් ගාල්ලට වගේම හම්බන්තොටටත් ජලය දෙන්න සැලසුමක් සකස් කළා.

ඒ කොමිස් මුදල් කතාව අහන්න ඕනි කියන අයගෙන්මයි. මේ ගැන තවදුරටත් සැකයක් තියෙනවා නම් මේ ගැන විධිමත් පරීක්‍ෂණයක් පවත්වන එක තමා හොඳ. අපි අමාත්‍යාංශයක් විදියට ඉතාම කැමැත්තෙන් ඉන්නවා මේ පිළිබඳ සියලුම තොරතුරු ඒ පරීක්‍ෂණ පවත්වන අයට ලබා දෙන්න. මොකද මේ වෙනකොට තාම මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙලා නැහැ. තාමත් තියෙන්නේ ගිය ආණ්ඩුව කාලේ දීපු බිලියන 4 විතරයි. තාම රුපියලක්වත් අපි වියදම් කරලා නැහැ.

මේකට චෝදනා කරන සුසිල් ප්‍රේමජයන්ත මහතා ගැන මං කනගාටු වෙනවා. එතුමාට තියෙන්නේ පෞද්ගලික වෛරයක්. මම සහ මහින්ද අමරවීර ඇමැතිවරයා ගැන ඔහුට තියෙන්නේ පෞද්ගලික වෛරයක්. එතුමා අපිට කොච්චර වෛර කළත් අපි එතුමාට වෛර කරන්නේ නැහැ. හැමෝම කියනවා දෙවැනි පරම්පරාවක් හදනවා, තරුණයන්ට අත දෙනවා කියනවා. නමුත් මේ වයසින් වැඩි ජේ‍යෂ්ඨ පුද්ගලයන් දෙවැනි පරම්පරාවක් හදන්නේ නැතිව තමන්ම මැරෙනකම්ම මේ දේවල් කරන කොට දෙවැනි පරම්පරාවක් හදන්න බැහැ.

ඒ වගේම අපිට මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ කණ්ඩායම එක්ක තියෙන්නේ ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් විතරයි. පෞද්ගලික ප්‍රශ්නයක් නැහැ. හැබැයි අද අපිට ඒ කණ්ඩායම බනින්නේ නැහැ. අපිට බනින්නේ අපිත් එක්ක ඉඳලා, කැබිනට් මණ්ඩලයේ ඇමැති කෙනෙක් විදියට පඩි අරගෙන,රට සවාරි ගිහින්, යාන වාහන, නිල නිවාස පාවිච්චි කරලා, ආණ්ඩුවේ හිටපු අපේම අය තමයි අපිට බනින්නේ.

ඒ වගේම තමයි අවස්ථා කිහිපයකදීම අපි දැක්කා ස්වාමීන් වහන්සේ චෝදනා මුඛයෙන් ආණ්ඩුවට කතා කරනවා. මේ ආණ්ඩුව ව්‍යවස්ථාවට අනුවම බුද්ධාගමට සහ සිංහල ජාතියට ලැබිලා තියෙන කිසිම දෙයක් අපි දශමයකින්වත් අඩු කරන්නේ නැහැ. නමුත් අපි හැම විටම අනෙක් ජාතීන්ටත් සලකන්න ඕනි කියන කාරණාව ගැන කියනවා.

වරදක් කළොත් ඕනෑම කෙනකුට දඬුවම් දෙන්න ඕනි. අපි මහින්ද රාජපක්‍ෂ මහතාව මේ තනතුරින් ඉවත් කරලා මෛත්‍රිපාල සිරිසේන මහතාව පත් කළේ එක ඔළු ගෙඩියක් මාරු කරලා තවත් ඔළු ගෙඩියක් පත් කරන්න නෙවෙයි. අපිට අවශ්‍යයි මේ රටේ ක්‍රමවේදය වෙනස් කරන්න. හෙට දිනයේදී දුමින්ද දිසානායක හොරකම් කළොත් දුමින්දත් හිරේ යන්න ඕනි. එහෙම නැතිව පසුගිය කාලේ හොරු හිරේ දාලා මේ ආණ්ඩුව හොරකම් කරලා, මේ ආණ්ඩුවෙන් අනෙක් ආණ්ඩුවට මාරු වුණාම මේ ආණ්ඩුවේ හොරු හිරේ දාන යුගය අයින් කරන්න ඕනි.

උදයන්ති මුණසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon