මුරුන්කන් පොලිස් වසමෙන් බෝම්බ ඇතුළු යුද උපකරණ රැසක් හමුවෙයි

  👤  2790 readers have read this article !
By mawbima 2018-09-20

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

මන්නාරම මුරුන්කන් පොලිස් වසමේ ස්ථාන කීපයකින් දෙවැනි වරටත් බෝම්බ ඇතුළු යුද උපකරණ රැසක් හමු වී තිබේ.
මන්නාරම මුරුන්කන් පොලිස් වසමේ නරිවිලකුලම් හා සෙම්මන්තීව් යන ස්ථාන දෙකේ තිබී බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය රැසක් මුරුන්කන් පොලිසිය මඟින් සොයාගෙන තිබේ.

මෙහිදී නරිවිලකුලම් කුඹුරක තිබී එම්. 75 වර්ගයේ බෝම්බ 2ක් හා සෙම්මන්තිව් පාළු ළිඳක තිබී මි.මී. 81 මෝටාර් උණ්ඩ 3ක්, මි.මී. 81 පැරා මෝටාර් 9ක්, මි.මී. 60 මෝටාර් උණ්ඩ 13ක්, ආර්.පී.ජී. උණ්ඩ 2ක්, මි.මී. 40, එම්.ජී.එල්. උණ්ඩ 19ක්, ටී.වයි.පී.ඊ. 82 බෝම්බ 5ක්, කේ. 400 අත්බෝම්බ 16ක් සහ එස්.එෆ්.ජී. 87 අත්බෝම්බ 3ක් සොයාගෙන ඇත.

මුරුන්කන් පොලිසිය වෙත ලැබුණු පුද්ගල තොරතුරක් අනුව සිදුකළ සොයා බැලීමේදී මෙම යුද උපකරණ සොයා ගැනීමට හැකිවූ බව මුරුන්කන් පොලිසිය පැවැසීය.
සොයාගන්නා ලද මෙම යුද උපකරණ කලකට ඉහත කොටි සාමාජිකයන් විසින් සඟවන ලද ඒවා වන්නට ඇතැයි පොලිසිය විශ්වාසය පළ කරයි.

වවුනියාව විශේෂ පොලිස් කාර්ය බළකා සාමාජිකයන්ගේද සහාය ඇතිව මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණ නියෝගයක්ද සහිතව 15දා ගොඩ ගන්නා ලද මෙම යුද උපකරණ මුරුන්කන් යෝධ වැව ඉස්මත්තේ පිහිටි ජන ශුන්‍ය ප්‍රදේශයකදී 15දා සවස ක්‍රියා විරහිත කොට පුපුරුවා හැරීමට කටයුතු කළ බවද මුරුන්කන් පොලිසිය සඳහන් කරයි.

මුරුන්කන් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩේමියන් පෙරේරා, පාලන අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර්.බී. රත්නායක යන මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් මෙම මෙහෙයුමට එක්ව තිබේ. මුරුන්කන් පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

මීට පෙර ගෙවී ගිය සතියේද මුරුන්කන් ප්‍රදේශයේ ගෙවත්තක පිහිටි ළිඳක් තුළ තිබී බෝම්බ ඇතුළු යුද උපකරණ රැසක් මුරුන්කන් පොලිසිය මඟින් සොයාගෙන තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon