අසරණයකුට සරණ වූ සොඳුරු මිනිසුන්

  👤  2844 readers have read this article !
By mawbima 2018-09-20

ලුණුවිල -රෝස් කොලින්

වෙන්නප්පුව මැතිවරණ කොට්ඨාසයට අයත් බෝතලේගම හේරත් කොහුමෝලවත්ත මාර්ගය අසල පුංචි නිවෙසක තනිව ජීවත් වූ තරුණයකු අතරමඟදී සිදුව ඇති අනතුරකින් පාදය කැඩී අසරණව සිටියදී ගම්වාසීන් විසින් ඔහුට මාස 02ක කාලයක් නේවාසික ප්‍රතිකාර ලබාදීමෙන් පසු ඒ සඳහා ගෙවීමට සිදුවූ රුපියල් 93,000ක බිල්පතද ගෙවා ආපසු නිවෙසට රැගෙන ඒමේ ඉතා දුර්ලභ පුවතක් වාර්තා වේ.

මෙම ගමේ පදිංචි රැකියා විරහිත අවිවාහකයකු වූ ඔහු 53 හැවිරිදි නිමල් විජේතුංග නම් වේ. තරමක් මතට ඇබ්බැහිව සිටි ඔහු මහමඟ පයින් ගමන් කරමින් සිටියදී හදිසි අනතුරකට ලක්ව පාදය කැඩුණත් වාහන හිමියා ඔහුව එම ස්ථානයේ දමා ගොස් ඇත. අනතුරුව කිරිමැටියාන හා බෝතලේගම ජනතාව එක්වී මෙම රෝගියාව නෙල්ලිගහමුල ප්‍රදේශයේ ප්‍රසිද්ධ කැඩුම් බිඳුම් වෛද්‍යවරයකු වෙත ගෙන ගොස් නේවාසික ප්‍රතිකාර ලබාදීමට කටයුතු යොදන ලදී. මාස 02කට ආසන්න කාලයක් නේවාසිකව ප්‍රතිකාර ගත් ඔහුගේ සහායටද තවත් පුද්ගලයකුගේ සහාය ලබාගත් ගම්වාසීහු ඔහු තරමක සුවයක් ලද විට ඔහුව රැගෙන ඒමට ගියමුත් ප්‍රතිකාර බිල රුපියල් 93,000ක්ව තිබීමෙන් ඔවුන්ද තරමක් අසීරුතාවයට පත්වී තිබේ.

මුදල කෙසේ වෙතත් රෝගියා සුවඅතට පත්ව ඇති හෙයින් ගම්වාසීන් එක්ව සම්මාදම්වෙමින් මෙම මුදල එකතු කරගෙන වාහනයක්ද රැගෙන ගොස් රෝගියාව නිවෙසට කැටුව එමින් ඔවුන් කළ ඒ වීර ක්‍රියාව කාටත් උතුම් ආදර්ශයකි.

රෝගියාව නිවෙසට කැටුව එනවිට ඔහුට අයත් පුංචි නිවෙස වල්බිහිවී තිබුණු හෙයින් එම නිවෙස හා අවට බිම ගම්වාසීන් විසින්ම එළිපෙහෙළි කරදීමටද පියවර ගත්තේ මිනිසාට සේවය කිරීම මිනිසාගේ පරම යුතුකම බව රටටම කියාපාමිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon