ධර්මපාලතුමා වැනි ශේ‍ර්ෂ්ඨයන් වර්තමානයේ දකින්නට නැහැ

  👤  2820 readers have read this article !
By mawbima 2018-09-20

අනගාරික ධර්මපාලතුමා වැනි ශේ‍ර්ෂ්ඨ වූ චරිත කියවිය යුත්තේ වර්තමානයේ එවැනි චරිත දැකගන්නට නොලැබෙන නිසා යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා (17දා) පැවැති අනගාරික ධර්මපාල 154 වැනි ජන්ම දින සංවත්සර උළෙල අමතමිනි.

දැහැමි සමාජයක් ගොඩනැඟීම වෙනුවෙන් අනගාරිකධර්මපාලතුමාගේ ආදර්ශය සමාජගත කිරීමේ අරමුණින් ජනාධිපති ලේකම් කාර්යාලය හා බුද්ධශාසන අමාත්‍යාංශය එක්ව මෙය සංවිධානය කර තිබිණි.

ජනාධිපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීය.

රටක අභාග්‍ය සම්පන්න අවස්ථාවක්, රටක යම් ඛේදනීය තත්ත්වයක් පරිහානියට පත්වන තත්ත්වයක් ඇති වූ විට සිය ජාතියේ අනාගතය සඳහා මාතෘභූමිය වෙනුවෙන් කැපවුණු චරිත මතුවන බව අප දන්නවා. අනගාරික ධර්මපාලතුමා ඒ යුගයේ කතා කර ඇති දේ ප්‍රකාශ කර තිබෙන දේ අද තිබෙන ප්‍රශ්න හා සංසන්දනය කළ විට අද තිබුණු ප්‍රශ්න එදා තිබුණු බවත්, එදා තිබෙන ප්‍රශ්න අදත් තිබෙන බවත් අපට පෙනී යනවා. අනගාරික ධර්මපාලතුමා මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස විරෝධය පෑ කෙනෙක්. අනගාරික ධර්මපාලතුමා බිහිවූ කාලපරිච්ඡේදය තුළ එතුමා සිය දේශනාවලින් මත්ද්‍රව්‍යවලට තදින් විරුද්ධ වූවා සේම සිය දේශීයත්වය, දේශප්‍රේමීත්වය,සිංහලකම, බෞද්ධකම පිළිබඳව අභීත හඬක් නැඟුවා. එතුමා එදා කළ දේශනා එදාට මෙන්ම අදටත් වලංගුයි. ඍජු බව, අවංක බව, එ¾ඩිතරව කතා කිරීමේ හැකියාව, ශක්තිය එතුමා තුළ තිබුණා.

අනගාරික ධර්මපාලතුමා වැනි විශිෂ්ට වූ ශේ‍ර්ෂ්ඨ වූ චරිත අප කියැවිය යුත්තේ වර්තමානයේ එවැනි චරිත අපට දැකගන්නට නොලැබෙන නිසයි. දේශප්‍රේමීන් පිළිබඳව කතා කළහොත් අදත් දේශප්‍රේමීන් සිටිනවා. නමුත් වගකීම් භාරදුන් විට ඇතැම් දේශප්‍රේමීන් කටයුතු කරන්නේ කෙසේද කියා අප කවුරුත් දන්නවා. අනගාරික ධර්මපාලතුමා දේශප්‍රේමියෙක් වගේම බෞද්ධ දර්ශනය පිළිබඳ ප්‍රාමාණික වියතෙක්. සිංහල ජාතියේ අනන්‍යතාව පිළිබඳව එතුමා ඒ නැඟූ මහා හඬ අදත්, හෙටත් මේ රටේ ජනතාවගේ හදවත් තුළ සටහන් වෙනවා.

බටහිර ජාතීන් අප රට ආක්‍රමණය කළ සමයේ අපේ රටේ ශ්‍රී ලාංකිකයන්ම, සිංහලයන්ම රාවලට, අරක්කුවලට, විස්කි, බ්‍රැන්ඩිවලට පාවා දුන්නා. අපේ ඔටුන්න, අපේ රාජ්‍යත්වය අපිට අහිමි කරන්නට පුළුවන් වුණේ රා, අරක්කු, විස්කි, බ්‍රැන්ඩිවලටයි. එදා දවසේ ප්‍රශ්න අදත් තිබෙන නිසා අනගාරික ධර්මපාලතුමා චරිතය සිහිපත් කිරීම, ආදර්ශයට ගැනීම, අධ්‍යයනය කිරීම ඉතාමත් වැදගත් වෙනවා.

අනගාරික ධර්මපාලතුමාගේ 154 වැනි ජන්ම දිනය සමරන මේ අවස්ථාවේ අප සෑම කෙනෙක්ම එකතු වී එතුමාගේ ගුණ සැමරීමටත් ඒ ගුණ අපේ චරිතවලට එක්කර ගැනීමටත් හෙට දවසේ උපදින දරුවන්ට එම චරිතය පිළිබඳව ඓතිහාසික කරුණු සහ එහි වටිනාකම් පහදා දීමටත් අපි සෑම කෙනකුටම වගකීමක් සහ යුතුකමක් තිබෙනවා.
පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ,

අනගාරික ධර්මපාලතුමන්ට ඉදිරිපත් වන ප්‍රධානම අභියෝගය, අවලාදය සහ දෝෂාරෝපණය තමයි එතුමා ජාතිවාදියකු කියන බව. සිංහලයිනි නැඟිටිව්, අනික් ජාතීන් අතර සිංහලයන් ඇමතුව නිසා එතුමා ජාතිවාදියකු කියලා හංවඩුවක් ගහනවා. සත්‍ය වශයෙන්ම ධර්මපාලතුමා ජාතිවාදියකු තමයි. හැබැයි එතුමා ජාතිභේදවාදියකු නෙවෙයි. සිංහලයිනි නැඟිටිව් අන් ජාතීන් මර්දනය කරව් කියලා කිසිවිටෙක කිව්වේ නෑ. උඹලා පමණක් මේ රටේ බලය තහවුරු කරගනිල්ලා කියලා කිව්වේ නෑ.
එදා බුද්ධාගමට එරෙහිව ක්‍රියාත්මක වුණේ අවිආයුධ. බෞද්ධයෝ ඉවසීමෙන් මේ සියලු දුක් වේදනා වින්දා. රාජ්‍ය මාධ්‍ය යොදාගෙන බුද්ධාගමට පහර දෙන අවඥාවට ලක් කෙරෙන වැඩපිළිවෙළ අදත් නැතුවා නෙවෙයි.

බුදු දහමේ ආරක්ෂාවට ප්‍රතිපාදන නැහැ. බයිබලයේ කුරානයේ තියෙනවා. අන් ආගම් සහිත සමාජයක බුදු දහම හරියට වෘකයන් පිරිසක් විසින් වට කර ගන්නා ලද මුව පොව්වකු සේ අහිංසකයි. ඒ නිසා බුදු දහමට නිරන්තරයෙන්ම එල්ල වන අභියෝගවලට මුහුණ දෙන්න රාජ්‍ය ආරක්ෂාව අවශ්‍යයි. ඒ නිසා ආණ්ඩුව මෙහිලා වගකිව යුතුයි.

පහන් විජේසේකර
ඡායා - ඒශාන් දසනායක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon