හිමිනම වහාම අත්අඩංගුවට ගන්නැයි පොලිසියට නියෝග

  👤  3302 readers have read this article !
By mawbima 2018-09-19

අනුරාධපුර - ආනන්ද කරුණාදාස,

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

එකළොස් හැවිරිදි බාල වයස්කාර සාමණේර හිමිනමක අපයෝජනය කිරීමේ චෝදනාවකට අනුරාධපුර මූලස්ථාන පොලිසිය මඟින් තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවත් එලෙස තමා අත්අඩංගුවට ගැනීම වළකාලමින් අනුරාධපුර මූලස්ථාන පොලිසියට එරෙහිව තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් අනුරාධපුර විහාරාධිපති හිමි නමක් අධිකරණයට ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයැදුම්පතක් අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජානක සමරසිංහ මහතා ප්‍රතික්ෂේප කළේය.

ඒ අනුව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අනුරාධපුරය මූලස්ථාන පොලිසියට නියෝග කළේ සාමණේර හිමිනමකට ලිංගික අතවර කළ බවට චෝදනා ලැබ අධිකරණය මඟහැර සිටින සැකකාර විහාරාධිපති භික්ෂුන් වහන්සේ වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි. සැකකාර විහාරාධිපතීන් වහන්සේ නීතිඥ රජිත ජයවර්ධන මහතා මඟින් අධිකරණයට ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයැදුම්පතක් සලකා බැලීමෙන් අනතුරුව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඊයේ (17දා) එසේ නියෝග කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නඩු කටයුතු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එච්.එම්. යසරත්න මහතා සඳහන් කළේ සැකකාර විහාරාධිපති හිමිනම භාරයේ සිටි 11 හැවිරිදි සාමණේර හිමිනමකට ලිංගික අතවර කර ඇති බවට සාමනේර හිමිනම උන්වහන්සේගේ මවද සමඟ පැමිණ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් කර ඇති බවයි.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් මූලික විමර්ශන අරඹා සැකකාර විහාරාධිපතීන් වහන්සේ අත්අඩංගුවට ගැනීමට පොලිසිය ගියද උන්වහන්සේ පොලිසිය මඟහැර ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවද උප පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට දැන්වීය.

සැකකාර විහාරාධිපති හිමියන් අත්අඩංගුවට නොගන්නා ලෙසට ඉල්ලමින් ඉදිරිපත් කර ඇති ඇප අයැදුම්පතට පොලිසිය විරෝධය පළ කරන බව අධිකරණයට දැනුම් දුන් උප පොලිස් පරීක්ෂකවරයා ඉදිරි විමර්ශන සඳහා සැකකාර හිමිනම අත්අඩංගුවට ගැනීමට පොලිසියට අවශ්‍ය බවද සැල කළේය.
සැකකාර හිමියන්ගේ අපේක්ෂිත ඇප අයැදුම්පත අධිකරණයට ඉදිරිපත් කරමින් උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රජිත ජයවර්ධන මහතා සඳහන් කළේ සැකකාර හිමියන්ට එරෙහිව පොලිසියට යොමු කර ඇති පැමිණිල්ල අසත්‍ය එකක් බවයි.

සැකකාර විහාරාධිපතීන් වහන්සේ රෝගාතුරව සිටින බව අධිකරණයට කියා සිටි නීතිඥ ජයවර්ධන මහතා උන්වහන්සේ අත්අඩංගුවට ගැනීම වළකාලමින් අනුරාධපුර මූලස්ථාන පොලිසියට තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද අධිකරණයෙන් අයැද සිටියේය.

නීතිඥවරයාගේ එම ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සැකකාර හිමි නම වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර මූලස්ථාන පොලිසියට නියෝග කළේය.
පැමිණිලිකාර සාමණේර හිමියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ප්‍රියදර්ශනී කාරියවසම්, ජයලත් අබේසිංහ සහ සුසිල් සිරිවර්ධන යන නීතිඥ මහත්ම මහත්මීන් පෙනී සිටි අතර සැකකාර හිමියන් වෙනුවෙන් නීතිඥ රජිත් ජයවර්ධන මහතා පෙනී සිටියේය.

පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව මහානාම මහතාගේ උපදෙස් මත අනුරාධපුර ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති යමුනා මහත්මියගේ මෙහෙයවීම මත නඩු කටයුතු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එච්.එම්. යසරත්න සහ සැරයන් ලලිත් නන්දසේන (31486) යන මහත්වරුන් අධිකරණයට කරුණු කීවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon