අභියාචනයක් සලකා බැලීමට රුපියල් 74,000ක් ගෙවන්නැයි සමුපකාර කොමසාරිස් දුන් නියෝගයක් මහාධිකරණය බල රහිත කරයි

  👤  3190 readers have read this article !
By mawbima 2018-09-19

අනුරධපුර - ආනන්ද කරුණාදාස, මීගමුව- නිමන්ති ප්‍රනාන්දු

ජංගම වෙළෙ¼ද කළමනාකරුවකුගේ අභියාචනයක් සලකා බැලීමට රුපියල් හැත්තෑ හතර දහසක (74,000) මුදලක් ගෙවන ලෙසට උතුරු මැද පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස්වරයා (රෙජිස්ට්‍රාර්) එම ජංගම වෙළෙඳ කළමනාකරුට ලබාදුන් නියෝගයක් බල රහිත කළ උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු ගියාන් චන්ද්‍ර රණවක මහතා, රුපියල් පනහක (50) මුදලක් පමණ අය කරගෙන අභියාචනය සලකා බලන ලෙසට උතුරු මැද පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස්වරයාට (රෙජිස්ට්‍රාර්) නියෝග කළේය. මැදවච්චිය විවිධ සේවා සමුපකාර සමිතියේ ජංගම වෙළෙඳ කළමනාකරුවකු ලෙස සේවය කළ මැදවච්චිය - විරාල්මුරිප්පුව පදිංචි ලක්ෂ්මන් කුමාර අබේරත්න මහතා ජේ‍යෂ්ඨ නීතිඥ සරත් විජයරත්න මහතා මඟින් අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා මෙසේ නියෝග කළේය.

උතුරු මැද පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් සිරිමෙවන් ධර්මසේන මහතා සහ මැදවච්චිය විවිධ සේවා සමුපකාර සමිතිය මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබිණි. පෙත්සම්කරු වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජේ‍යෂ්ඨ නීතිඥ සරත් විජයරත්න මහතා කියා සිටියේ පෙත්සම්කරු වගඋත්තරකාර මැදච්චිය විවිධ සේවා සමුපකාර සමිතියේ ජංගම වෙළෙඳ කළමනාකරුවකු ලෙස සේවය කරමින් සිටියදී රුපියල් අට ලක්ෂ හැට හතර දහසක මුදලක් වංචා කළ බවට නිගමනය කරමින් එම මුදල ගෙවන ලෙසට උතුරු මැද පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස්වරයා විසින් ඔහුට දැනුම්දී ඇති බවය.

පළාත් සමුපකාර කොමසාරිස්වරයාගේ එම තීරණයට එරෙහිව පෙත්සම්කරු විසින් අභියාචනයක් ඉදිරිපත් කළ බවද අධිකරණයට කියා සිටි නීතිඥවරයා එම අභියාචනය සලකා බැලීමට නම් පෙත්සම්කරු වංචා කර ඇති බව කියන රුපියල් 86,400ක මුදලින් සියයට දහයක මුදලක් රුපියල් හැත්තෑ හතර දහසක් පෙත්සම්කරු ගෙවිය යුතු බවට පළමු වගඋත්තරකාර පළාත් සමුපකාර කොමසාරිස්වරයා නියම කර ඇති බව කීවේය.
අභියාචනයක් සලසා බැලීමට එවැනි මුදලක් ගෙවන ලෙසට නියම කිරීමට පළමු වගඋත්තරකාර පළාත් සමුපකාර කොමසාරිස්වරයාට කිසිදු නීතිමය බලයක් නැති බව අවධාරණය කළ නීතිඥ විජයරත්න මහතා, මෙම තීරණය තුළින් පළමු වගඋත්තරකාර පළාත් සමුපකාර කොමසාරිස්වරයා ස්වකීය ව්‍යවස්ථාපිත බලය ඉක්මවා යමින් කටයුතු කර ඇති බවද සඳහන් කළේය.

නීතිඥවරයාගේ මෙම කරුණු දැක්වීම සැලකිල්ලට ගත් මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ පෙත්සම්කාර ජංගම වෙළෙද කළමනාකාරවරයාගේ අභියාචනය සලකා බැලීමට රුපියල් 74,000ක මුදලක් ගෙවන ලෙසට සමුපකාර සංවර්ධන කොමසාරිස්වරයා ලබාදී ඇති නියෝගය බල රහිත කිරීමටය. ඒ වෙනුවට රුපියල් පනහක (50) මුදලක් පමණක් අය කරගෙන අදාළ අභියාචනය සලකා බලන ලෙසට මහාධිකරණ විනිසුරුවරයා උතුරු මැද පළාත් සමුපකාර සංවර්ධන කොමාසරිස්වරයාට තවදුරටත් නියෝග කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon