නිලධාරීන් පිට දමා දේශපාලනඥයන් ඇඟ බේරගෙන

  👤  3310 readers have read this article !
By mawbima 2018-09-19

බස්නාහිර පළාත් සභාවට ගෙන්වීමට නියමිතව තිබූ පුටු පිළිබඳ විමර්ශන කිරීමේදී දේශපාලන අධිකාරිය ඉවත්ව ඊට රාජ්‍ය නිලධාරීන් හසුවන බවත් එය හරියට බැඳුම්කර වංචාවේදී රනිල් වික්‍රමසිංහ හා රවි කරුණානායක නිදැල්ලේ සිටියදී නිලධාරීන් පමණක් සිරබත් කනවා වගේ වැඩක් බවත් ජවිපෙ පළාත් සභා මන්ත්‍රි ලක්ෂ්මන් නිපුණආරච්චි චෝදනා කරයි.

එකී දූෂණයට අදාළව අල්ලස් පනත යටතේ තොරතුරු සහිතව පැමිණිල්ලක් සිදුකිරීමට සූදානම් බවද මන්ත්‍රිවරයා කීය.

ඔහු පැවැසුවේ දැනට අදාළ පුටු ඇණවුමට මිල ගණන් තුනක් ඇති අතර පුටු පලහිලව්වේ සියලු දූෂිතයන් නුදුරේදීමට රටට හෙළි කරන බවය.

‍ෙදාරේ සද්දයයි, බෙරේ සද්දයයි හඳුනන ජවිපෙට බස්නාහිර පළාත් මහ ඇමැතිවරයාගේ දිව දෙකේ කතාවලින් කිසිසේත්ම ඇන්දවිය නොහැකි බවද හෙතෙම පැවැසුවේ පසුගියදා පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය. බස්නාහිර පළාත් සභාවේ පුටු සිද්ධියට අදාළව ආණ්ඩුකාරතුමා වාර්තාවක් ලබාදීලා තිබෙනවා. ඒ අනුව පුටු ගෙන්වීම නතර කොට තිබෙනවා. මේ සඳහා මැදිහත් වූ ආණ්ඩුකාරතුමාටත් මාධ්‍යවලටත් ෆේස්බුක් සමාජ ජාල ක්‍රියාකාරීන්ටත් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඊට එරෙහිව කටයුතු කරපු මහජනතාවටත් අපගේ ස්තුතිය පිරිනමනවා. පළාත් සභා සුදු අලියෙක් බව මේ සිදුවීමෙනුත් ඔප්පු කළා.
බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැතිවරයා දිව දෙකේ කතාකාරයෙක් බව ඔප්පු වුණා. ඔහු මුලින් කිව්වේ කවුරු විරුද්ධ වුණත් පුටු ගෙන්වන එක නතර කරන්නේ නැහැ කියලා. ආණ්ඩුකාරවරයා නැවැත්වූ පසු ප්‍රධාන ඇමැතිවරයා දැන් කියනවා තමන් එය දැනගත්තේ මාධ්‍යවලින් බවත් දැනගත් මොහොතේම පළාත් ලේකම්ට කතා කරලා පුටු ගෙන්වීම නතර කළා කියලා.

මේ සිදුවීමේදී අපේ රටේ ජනතාව පෙන්නුවා දේශපාලන පක්ෂ භේදයකින් තොරව ජනතා මුදල් නාස්තියට තමන් විරුද්ධ බව. නමුත් ජනතා නියෝජිතයන් ලෙස පෙනී ඉන්න එජාපයේ, ශ්‍රී ලනිපයේ, පොහොට්ටුවේ මන්ත්‍රිවරුන් පෙනී සිටියේ පුටු ගෙන්වීම සාධාරණීකරණය කිරීමටයි. මෙම සිදුවීම රටට හෙළිදරව් කිරීම පිළිබඳව ඔවුන් සියලු දෙනා චෝදනා කළේ ජවිපෙ මන්ත්‍රිවරුන්ටයි. අපි මෙම සිදුවීම් පිළිබඳව ආණ්ඩුකාරවරයාට ලිඛිතව දැනුම් දුන්නා. පසුව රටේ ජනතාව දැනගත යුතු නිසා මාධ්‍යටත් කිව්වා.

අනෙක් පක්ෂවල මන්ත්‍රිවරුන් අපට චෝදනා කළේ පළාත් සභා මන්ත්‍රිවරයා හෑල්ලුවට ලක් කිරීමට කටයුතු කරනවා කියලයි. ජවිපෙ මන්ත්‍රිවරු හය දෙනා හැර තවත් මන්ත්‍රිවරුන් දෙදෙනෙක් පමණයි මෙම සිදුවීමට එරෙහිව කටයුතු කළේ. එම මන්ත්‍රිවරු දෙදෙනා මහ ඇමැතිවරයා සමඟ තිබුණු පෞද්ගලික කෝන්තරයක් නිසා විරුද්ධ වුණා කියලයි අපි හිතන්නේ.
පුටු සිදුවීමට අමතරව පළාත් සභා ගොඩනැඟිල්ලට අදාළව සිදුවීම් ගණනාවක් තිබෙනවා. අපි ඒ පිළිබඳව පළාත් සභාවේදී ප්‍රශ්න කළා. ශබ්ද විකාශන යන්ත්‍ර සහ කැමරා පද්ධතිය පිළිබඳ ටෙන්ඩරය ප්‍රශ්නගත එකක්. එහිදී මිලියන 72 ටෙන්ඩරයක් තිබියදී ටෙන්ඩරය ලබාදී තිබෙන්නේ මිලියන 109කටයි. මිලියන 37ක වංචාවක් සිදුවෙලා තිබෙනවා.

ඒ වගේම සභා ශාලාවට ඇතුළු වන ‍ෙදාරටුවත් විශාල මුදලක් වැය කරලා තනා තිබෙන බව අපිට ආරංචියි. අපි එය පිළිබඳව ප්‍රධාන ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කළා. නමුත් ඔහු උත්තර නොදී මඟ හැරියා. නිල නොවන ආරංචි අනුව මෙම ‍ෙදාර සඳහා රු. කෝටි එකහමාරක් පමණ වෙනවා.

පළාත් සභා ගොඩනැඟිල්ලේ මුළු වියදම ගැන අපි ප්‍රශ්න කළා. ඇස්තමේන්තුගත මුදල රු. මිලියන 7,029යි. මේ වන විට රු. මිලියන 5,854ක් වැය වෙලා තිබෙනවා. තව ඉතිරි වී තිබෙන්නේ මිලියන 1,200කට ආසන්න මුදලක්. නමුත් ප්‍රශ්නය තිබෙන්නේ ගොඩනැඟිල්ලේ පිට පොත්ත ලස්සනට පෙනුණට ඇතුළේ මදය නැති වීමයි. අත්‍යවශ්‍ය කිසිවක් සම්පූර්ණ කර නැහැ. ගොඩනැඟිලි කළමනාකරණය, රථවාහන කළමනාකරණය, ඕඩියෝ සිස්ටම්, සභා ගර්භයේ ආසන, කමිටු කාමර සඳහා දැව උපකරණ, වී.අයි.පී. ආපනශාලා, කාර්යමණ්ඩලවලට අවශ්‍ය කාර්යාල උපකරණ, ඔරලෝසු පද්ධති මේ කිසිවක් සම්පූර්ණ කර නැහැ. එතරම් මිලියන ගණනක මුදලක් වැය කරලා ගොඩනැඟිල්ලක් හැදුවාට ඇතුළේ මදයක් නැහැ. ඒ වගේම මේ වන විට ඇතැම් ස්ථානවල ඉඳගන්න පුටුවක් නැහැ. සභා ලේකම් කාර්යාලය වැනි පළාත් සභා බිල්ඩිමට අයත් කාර්යාල තවමත් මෙම ගොඩනැඟිල්ලට ගෙනැල්ලා නැහැ.
අනුරාධා හේරත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon