ශ්‍රී ලංකාව පළමු පරාජය ලබයි

  👤  1407 readers have read this article !
By mawbima 2018-09-18

ආසියානු වොලිබෝල් සම්මේලනයේ මෙහෙයවීමෙන්, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන පළමු ආසියානු අභියෝගතා කුසලාන වොලිබෝල් තරගාවලියේ මූලික තරග වටයේ අවසන් තරගය ලෙස

ශ්‍රී ලංකා කණ්ඩායම හා සෞදි අරාබිය අතර ඊයේ (17දා) පැවැති තරගයෙන් සෞදි අරාබි කණ්ඩායමට තරග වට 3-1ක ජයක් හිමි විය. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පළමු පරාජය මෙය වූ අතර, මීට පෙර මැලේසියාවට හා හොංකොං රාජ්‍යයට එරෙහිව පැවැති තරගයන් වට 3-0ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබිණි.

කරට කර සටනක් දක්නට ලැබුණු මෙම තරගයේ පළමු වටය ශ්‍රී ලංකා කණ්ඩායම ජයගැනීමට සමත් වූයේ ලකුණු 25-22ක් ලෙසයි.

ඉන් අනතුරුව දෙවැනි වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මඳ පසුබැස්මෙන් උපරිම ප්‍රයෝජනය ලබාගත් සෞදි අරාබි කණ්ඩායම දෙවැනි වටය ලකුණු 25-22ක් ලෙස ජයගන්නට සමත් විය. තෙවැනි වටයේදී වඩාත් ආක්‍රමණශීලී වූ සෞදි අරාබි කණ්ඩායමෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල වූ අතර එම පීඩනයෙන් මිදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාවක් නොලැබිණි. එම තරග වටයත් ලකුණු 25-19ක් ලෙස ජයගත් සෞදි අරාබිය සිවු වැනි තරග වටයත් ජයගත්තේ ලකුණු 25-20ක් වශයෙන් වීම කැපී පෙනිණි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජේ‍යෂ්ඨ ක්‍රීඩකයන් කිහිපදෙනකුම මෙම තරගයේදී විවේක ගන්වා තිබූ අතර දෙපිලෙන්ම පන්දු පිරිනැමීමේ දුර්වලතා හේතුවෙන් ප්‍රතිවාදීන්ට ලකුණු හිමි වීමේ අවස්ථාවන් ගණනාවක් දක්නට ලැබීමද විශේෂතම සිදුවීමකි.
ඡායාරූප-ඒශාන් දසනායක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon