වලාකුළු බැම්ම අසල අපජල නළ පද්ධතිය වසා දමයි

  👤  1423 readers have read this article !
By mawbima 2018-09-18

මහනුවර - ගයා ශ්‍රී කාරියවසම්

මහනුවර ඓතිහාසික දළදා මාලිගාව ඉදිරිපිට වලාකුළු බැම්මට හානි වන සේ අපජල නළ පද්ධතියක් එළීම සම්බන්ධයෙන් විරෝධය දැක්වූ බෞද්ධ සංවිධාන නියෝජිතයකු වූ තුෂාර ස්වර්ණතිලක මහතා ඇතුළු පිරිසක් 14 වැනි දින එම කානු වසා දැමීමට පියවර ගත්හ.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවට ඉහළ ප්‍රදේශයේ හෝටල් සහ නිවෙස්වල වැසිකිළි මල අපද්‍රව්‍ය සහ අපජලය මෙලෙස ශ්‍රී දළදා පූජා භූමිය හරහා ගෙනයෑම සම්බන්ධයෙන් එම පිරිස දැඩි විරෝධතාවක් දැක්වූහ.

මීට පෙර එම අපජලය වැව වටෙන් ගෙන යන බව පවසා හදිසියේම දළදා පරිශ්‍රයේ වලාකුළු බැම්ම අසලින් ජල නළ එළීම සඳහා කානු කැපීම සිදුකර තිබිණි. එයට එරෙහි වූ පිරිස බලහත්කාරයෙන් මෙම කානු පද්ධතිය වසා දැමීමට කටයුතු කළහ. දළදා පූජාභූමිය හරහා අපජල නළ එළීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවද අවසර දී නොමැති බවද පුරාවිද්‍යා නිලධාරීහු කියති. මෙම වලාකුළු බැම්ම අසලින් මෙම නළ එළීම සඳහා මීටර් දෙකක් ගැඹුරට කානු කැපිය යුතු වුවත් එසේ ගැඹුරට කානු පද්ධතිය හාරන්නේ නම් වලාකුළු බැම්ම වැවට කඩා වැටීමේ අවදානමක් පවතින බවද පුරාවිද්‍යා නිලධාරීහු කියති. එම නිසා එවන් ගැඹුරකට කානු කැපීමට කිසිසේත් අවසර දිය නොහැකි බවද පුරාවිද්‍යා නිලධාරීහු පවසති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon