අලි-ඇත් සටනෙන් අලි දැවැන්තයා මිය යයි

  👤  3419 readers have read this article !
By mawbima 2018-09-18

දඹුල්ල - කේ.කේ. ආරියදාස, ගල්ගමුව - අරෝෂණ මාන්නප්පෙරුම

කලා වැව ජාතික උද්‍යානයේ සිටි දැවැන්තම වන අලියකුට ඇතකු විසින් ප්‍රහාරයක් එල්ල කොට මරා දමා තිබෙන අතර මරා දැමුණු තම රැහේ නායකයා හට අවසන් ගෞරව දැක්වීම සඳහා කලාවැවේ සිටින වන අලි රංචු පිටින් ඇවිත් සංවේගයට පත්වන අපූරු දර්ශනයක් පෙරේදා (16දා) පස්වරුවේ දැක ගැනීමට හැකි විණි.

කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හෝරාගල ග්‍රාම නිලධාරි වසමේ පුවක්පිටිය ප්‍රදේශයේ ඇති කලාවැව ඉස්මත්තේදී මෙම සටන සිදුවී තිබේ.

කලාවැව ජාතික උද්‍යානයේ අලි ඇතුන් 300ක් පමණ සිටින අතර එහි කණ්ඩායම් කිහිපයකට නායකත්වය ලබාදෙන බව කියන අවුරුදු 48ක් පමණ වයසැති මෙම අලියා දින ගණනාවක සිට කලා වැවේ සිටින දැවැන්ත ඇතකු සමඟ ගැටුමක් ඇති කරගෙන ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.

පසුව මෙම ඇතාගේ දැඩි ප්‍රහාරයට ලක්ව පෙරේදා (16දා) පස්වරුවේ අලි රංචුවට නායකත්වය දුන් වන අලියා මියගොස් ඇත. එසේ අලියාට පහර දී ඇත්තේ දීග - 1 නමින් කලාවැව රක්ෂිතයේ ජීවත් වන ඇතා විසිනි. එම ඇතාගේ දළ පහරවල් 26ක් පමණ මියගිය අලියාගේ ශරීරය පුරා දක්නට තිබිණි.

මෙම වන අලියා මිය යෑමත් සමඟ අවට සිටි වන අලින් රංචු දෙකක් පැමිණ මියගිය වන අලියා අසලට වී ඔහුට අවසන් ගෞරව දැක්වීමමෙන්ම ශෝකය ප්‍රකාශ කරන සංවේදී දසුන් එහිදී දැක ගැනීමට හැකියාව ලැබිණි.

කුඩා අලි පැටවුන් පවා පැමිණ මියගොස් සිටින අලියාගේ සිරුර ස්පර්ශ කරමින් දැඩි වේදනාවෙන් යුතුව සිටින අයුරුද එහිදී දැක ගැනීමට හැකියාව ලැබිණි.

වනජීවී නිලධාරීන් කියා සිටියේ එවැනි අවස්ථා ඉතා දුර්ලභ බවය. එමෙන්ම රංචුවේ සිටින ප්‍රධානියාට කරදරයක් වූ විට රංචුවේ සිටින අනෙකුත් වන අලින් මෙයාකාරයෙන් ඔහුව ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයක් වන අලින් තුළ තිබෙන බවද වනජීවී නිලධාරීහු පවසති.

කෙසේ වෙතත් මියගොස් සිටි වන අලියාට කැලේ සිටින අනෙකුත් අලි අවසන් ගෞරව දැක්වීමෙන් පසුව නැවතත් ඇතා පැමිණ මියගොස් සිටින අලියාට සිය දළවලින් ඇන ඇති බව වනජීවී නිලධාරීහු පවසති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon