හොංකොං කඩුලු 8කින් පරාජය කළ පාකිස්තානය පළමු පිම්ම පනී

  👤  3330 readers have read this article !
By mawbima 2018-09-18

මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලානය ක්‍රිකට් තරගාවලියේදී 'ඒ' කාණ්ඩයේ කණ්ඩායම් වන හොංකොං හා පාකිස්තානය අතර පෙරේදා (16දා) පැවැති තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයක් හිමිකරගන්නට පාකිස්තාන කණ්ඩායම සමත් විය.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එම පැවැති තරගයේදී කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහරදුන් හොංකොං කණ්ඩායම ලකුණු 116කට සියලු දෙනා දැවී ගිය අතර පාකිස්තානුවන් පන්දුවාර 23යි පන්දු 4කදී කඩුලු 2ක් පමණක් වැය කරමින් එම ඉලක්කය සපුරාගත්තේය.

හොංකොං කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලයේ සබඳතාව ලකුණු 17කට සීමා කරමින් ලකුණු 13ක් ලබා සිටි නිසාකත් ඛාන් දුවද්දී දැවී යෑමකට හසුකරගන්නට ශදාබ් ඛාන් සමත් වෙද්දී ෆහීම් අශ්රෆ්ගේ පන්දුවකට උඩපන්දුවක් ලබාදෙමින් ලකුණු 19ක් ලබාගත් අන්ශුමන් රාත් දෙවැනි කඩුල්ල ලෙසින් දැවී ගියේය. ආරම්භක පිතිකරුවන් යුගලය දැවී යෑමෙන් අනතුරුව බාබර් හයාත්, ශදාබ් ඛාන්ගේ පන්දුවක් හමුවේ ස්ටම්ප් කිරීමකට ලක්ව දැවී යන විට ලකුණු 7ක් ලබා සිටි අතර හසන් අලීගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ක්‍රිස්ටෝපර් කාටර්ගේ ඉනිම ලකුණු 2කට සීමා වන විට හොංකොං ලකුණු පුවරුව දිස්වූයේ ලකුණු 44කට කඩුලු 4ක් ලෙසයි.

ලකුණු පුවරුව එසේම තිබියදී ශදාබ් ඛාන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට ලක්ව ඒසන් ඛාන් ලකුණු නොලබාම පස්වැනි කඩුල්ල ලෙස දැවී ගිය පසු 6 වැනි කඩුල්ලට ලකුණු 53ක සබඳතාවක් ගොඩනඟන්නට අයිසස් ඛාන් සහ කින්චිත් සාහ සමත් වූහ. ඔවුන් හොංකොං ලකුණු පුවරුව 97 දක්වා ඉහළ නංවා තිබියදී අයිසස් ඛාන් ලකුණු 27කටත් ස්කොට් මැකෙච්නි හා තන්විර් අෆ්සාල් යන දෙදෙනාම ලකුණු නොලබාත් දැවී ගියේ හොංකොං කණ්ඩායම තවත් ඇද දමමිණි. හසන් අලීගේ පන්දුවකට උඩපන්දුවක් ලබාදුන් කින්චිත් සාහ ලකුණු 26කට දැවී ගියපසු ඉනිමේ අවසන් කඩුල්ල ලෙසින් ලකුණු 9ක් ලබාසිටි ඒසාන් නවාස් දුවද්දී දැවී යෑමකට හසුවිය. පන්දු යැවීමේදී උස්මන් ඛාන් ලකුණු 19කට කඩුලු 3ක්ද හසන් අලී සහ ශදාබ් ඛාන් කඩුලු 2 බැගින්ද බිඳ හෙලූහ.

කෙසේ වෙතත් ලකුණු 117ක පහසු ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙසින් ලකුණු 24ක් රැස්කළ ෆකාර් සමාන් ඒසන් ඛාන්ගේ පන්දුවකට කඩුලු රකින ක්‍රීඩක මැකෙච්නිට උඩපන්දුවක් ලබාදෙමින් දැවී ගිය අතර ඔහුගේම පන්දුවක් හමුවේ එවැනිම දැවී
යාමකට ලක්වූ බාබර් අසාම් ලකුණු 33කට පිටියෙන් ඉවත් විය. තම මංගල එක්දින අර්ධ ශතකය ලබාගත් ඉමාම් උල් හක් ලකුණු 50ක් හා ෂොහිබ් මලික් ලකුණු 9ක් ලබා කඩුල්ලේ රැඳී සිටිමින් පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවූහ. දක්ෂ පන්දු යැවීමක නිරත වූ උස්මන් ඛාන් තරගයේ වීරයා ලෙසින් සම්මානයට පාත්‍ර විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon