කසිප්පු ජාවාරමක් වටලද්දී පැනගිය අයෙක් ළිඳකට වැටී නසී

  👤  3295 readers have read this article !
By mawbima 2018-09-18

හිඟුරක්ගොඩ - ප්‍රියා

හිඟුරක්ගොඩ රජඇළ ප්‍රදේශයේ නීති විරෝධීව කසිප්පු පෙරන ස්ථානයක් වැටලීමේදී එහි සිටි දෙදෙනකුගෙන් එක් අයකු පැනගොස් ඇත. ඔහු ළිඳකට වැටී මියගොස් සිටියදී ඊයේ (17දා) ගම්වාසීන් විසින් සොයාගෙන ඇති බව මින්නේරිය පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ කොතලාවල පාර රජඇළ හිඟුරක්ගොඩ ලිපිනයේ පදිංචිව සිටි ජී.ඒ. ප්‍රේමසිරි බණ්ඩාර නමැති (48) හැවිරිදි දෙදරු පියෙකි.

පොලිස් පරීක්ෂණ අනුව පොළොන්නරුව දිසා දූෂණ මර්දන විශේෂ වැටලීම් ඒකකය මඟින් 16 වැනි දින රාත්‍රියේ ලද තොරතුරකට අනුව රජඇළ ප්‍රදේශයේ වැටලීමක් සිදු කර තිබේ. මියගිය පුද්ගලයා වැටී මියගොස් සිටි ළිඳ ආසන්න නිවෙසක් වැටලීමේදී එහි තිබී කසිප්පු මිලිලීටර් 3,750ක් (බෝතල් 4ක්) සහ නිවෙස හිමිකරු අත්අඩංගුවට ගෙන හිඟුරක්ගොඩ පොලිසියට භාරදී තිබේ.

නමුත් අත්අඩංගුවට ගත් පුද්ගලයා පවසා ඇත්තේ තමන් සමඟ මියගිය පුද්ගලයා සිටි බවත් පොලිසිය පැමිණෙනවාත් සමඟම ඔහු දිව ගිය බවත්ය. තමන්ට ඇප ලබාදීම සඳහා පැමිණෙන ලෙස මියගිය පුද්ගලයාගේ ජංගම දුරකථනයට ඇමැතුම් ගත්තත් කතා නොකර සිටීම නිසා වෙනත් කෙනකු ගෙන්වා ගෙන ඔහු ඇප ලබා ගෙන තිබේ. පසුව ඔහු ගැන සොයා බලන විට ආසන්නයේ ඇති පාළු ළිඳේ සිගරැට් පෙට්ටියක් උඩ පාවෙනවා දුටු නිසා ළිඳට බැස පරීක්ෂා කළ විට ඔහු ළිඳ තුළ මියගොස් සිටි බව තහවුරු වූ බව ප්‍රකාශ කොට තිබේ.

ඒ අනුව ඥාතීන්ට දැනුම් දුන් අතර ඥාතීන් විසින් මින්නේරිය පොලිසියට දැනුම් දී තිබේ. මින්නේරිය පොලිසිය මඟින් මියගිය පුද්ගලයා පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළ බව මින්නේරිය පොලිසිය කියයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon