සෙබළකුගේ තරුණ බිරියක් ගෙල වැලලාගෙන මියයෑම ගැන සාධාරණ සැකයක් පවතිනවා

  👤  3425 readers have read this article !
By mawbima 2018-09-18

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

යුද හමුදාවේ සේවයේ නියුතු සෙබළකුගේ තරුණ බිරියක් නිවෙසේ කාමරයක් තුළ ගෙල වැලලාගෙන මියයෑම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් ආරම්භ කළ ගලෙන්බිඳුණුවැව පොලිසිය මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බවට ඊයේ (17දා) සවස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් මඟින් කරුණු ඉදිරිපත් කළේය.

ඒ අනුව අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා මියගිය කාන්තාවගේ සිරුර අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කර පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පැවැත්වීමට කටයුතු කරන ලෙස ගලෙන්බිඳුණුවැව පොලිසියට නියෝග කළේය.

එමෙන්ම කාන්තාවගේ මරණයට හේතුව සියදිවි නසා ගැනීමක්ද එසේත් නැත්නම් ඝාතනයක්ද යන්න අනාවරණය කරගෙන ඒ සම්බන්ධයෙන් අධිකරණයට වාර්තා කරන ලෙසද විනිසුරුවරයා අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයාට නියෝග කළේය.

ගලෙන්බිඳුණුවැව පොලිස් වසමේ 40 කොටස, දුටුවැව ලිපිනයේ පදිංචිව සිටි තරුණ එක්දරු මවක් නිවෙසේ කාමරයක බාල්කයක ලණුවක් ගැටගසා දිවි නසා ගෙන තිබූ අතර ඇගේ පියා විසින් කළ පැමිණිල්ලකට අනුව පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කළේය. මරණකාරියට වයස අවුරුදු හතරක දියණියක සිටින බවත් මරණකාරිය වෙනත් පුද්ගලයකු සමඟ අනියම් සබඳතාවක් පැවැත්වීම නිසා සැමියා හා බිරිය අතර නිතර ආරවුල් ඇති වී තිබෙන බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබිණි.

පෙරේදා (16දා) හෝ ඊයේ (17දා) අලුයම ඇය නිවෙසේ පිහිටි කාමරයක දිවි නසා ගෙන ඇති බවත් එල්ලීමට උපයෝගි කරගත් කොහු ලණුව කැඩී ඇගේ සිරුර කාමරයේ මුණින් අතට වැටී තිබී හමුවූ බවත් පරීක්‍ෂණ සිදුකළ පොලිසිය පැවැසුවේය.

සිද්ධිය වන අවස්ථාවේ සැමියා හැර වෙන කිසිවකු නිවෙසේ සිට නැති බවත් මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් මතුවී තිබෙන බවත් පොලිසිය පැවැසුවේය.
ගලෙන්බිඳුණුවැව පොලිසියේ විවිධ පැමිණිලි අංශය කාන්තාවගේ හදිසි මිය යෑමට හේතුව අනාවරණය කර ගැනීම සඳහා වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon