පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති නඩුව අවසන් වනතුරු රිමාන්ඩ්

  👤  3359 readers have read this article !
By mawbima 2018-09-18

නාත්තන්ඩිය - සමන්ප්‍රිය ජයශාන්ත

මදුරන්කුලිය ප්‍රදේශයේදී වෙඩි තබා 16 හැවිරිදි තරුණයකු ඝාතනය කරන ලදැයි අධිචෝදනා එල්ල වී ඇති පුත්තලම ප්‍රාදේශීය සභාවේ වත්මන් සභාපති අංජන සඳරුවන් (එ.ජා.ප.) නමැත්තා අදාළ නඩුව විභාග කර අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පුත්තලම මහාධිකරණ විනිසුරු ආදිත්‍ය කාන්ත මද්දුමපටබැඳිගේ මහතා ඊයේ (17දා) නියෝග කළේය.

2010 ජනවාරි මස 10 වැනිදා පුත්තලම මදුරන්කුලියේදී වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කරන ලදැයි අංජන සඳරුවන් ඇතුළු සිවුදෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් පුත්තලම මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර ඇත. මෙම වෙඩි තැබීමෙන් ආණමඩුව - තෝනිගල පදංචිකරුවකු වූ ජයසිංහ ආරච්චිගේ අනුර සමන් කුමාර යන අය ජීවිතක්ෂයට පත්විය.

එම නඩුව විභාග කරන ලද පුත්තලම මහාධිකරණ විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශ කිරීම මෙම මස 17 වැනිදාට නියම කර තිබිණි. විත්තිකරුවන්ට රටින් පිටවීමේ තහනම් නියෝගයක්ද මහාධිකරණය විසින් නිකුත් කර තිබිණි.
එසේ තිබියදී අධිකරණ නියෝග නොතකමින් ඉන්දුනීසියාව බලා යෑමට පැමිණි අවස්ථාවේදී ආගමන විගමන නිලධාරීන් විසින් පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති අංජන සඳරුවන් යන අයව පසුගිය 10 වැනිදා බණ්ඩාරනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන රහස් පොලිසියට භාරදීමට කටයුතු කරන ලදී. සභාපතිවරුන් සඳහා ඉන්දුනීසියාවේ පැවැත්වෙන සමුළුවකට සහභාගි වීම සඳහා ඔහු පිටත්ව යෑමට පැමිණ තිබිණි.

ඊයේ (17දා) පුත්තලම මහාධිකරණය හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී ප්‍රධාන විත්තිකරු ඇතුළු සෙසු විත්තිකරුවන් තිදෙනා අධිකරණය හමුවේ පෙනී සිටියහ. මේ අවස්ථාවේදී අධිකරණය ඇමතූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ අග්බෝ පණ්ඩිතරත්න මහතා කියා සිටියේ ප්‍රධාන විත්තිකරු අධිකරණ නියෝග නොතකමින් රටින් පිටවීමට උත්සාහ කර ඇති බවයි.

රජයේ අධිනීතිඥවරයා විසින් කරන ලද කරුණු දැක්වීම සැලකිල්ලට ගත් මහාධිකරණ විනිසුරුවරයා ප්‍රධාන විත්තිකරු වන වත්මන් පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති අංජන සඳරුවන් යන අයව නඩුව විභාග කර අවසන් වනතුරු රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන ලදී.
ලබන 25 වැනිදා මෙම නඩුව නැවත කැඳවීමට නියමිතව ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon