ධර්මපාලතුමාගේ දර්ශනය ගැඹුරට හැදෑරුවා නම් අද නායකයන් රටට කරන දේ නවතා ගන්න තිබුණා

  👤  3343 readers have read this article !
By mawbima 2018-09-18

වර්තමානයේදී දේශීය චින්තනය අප තුළින් අෑත් වී යන බවත් ඒ වෙනුවට විදේශීය චින්තනයක් සමාජයට ඇතුළු වෙමින් පවතින බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවැසුවේය.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ ඊයේ (17දා) කොළඹ මහාබෝධි අග්‍රශ්‍රාවක මහා විහාරස්ථ මහා බෝධි සංගම් මූලස්ථානයේදී පැවැති අනගාරික ධර්මපාලතුමාගේ 154 වැනි ජන්ම දින සැමරුමට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.

මේ උත්සව අවස්ථාවට ඉන්දියාව නියෝජනය කරමින් පැමිණි ආචාර්ය සායි බාබා ගව්ඩ් සහ කොරියාව නියෝජනය කරමින් පැමිණි පාර්ක් ජෙරස් හෝ යන මහත්වරුන්ට මහාචාර්ය වල්පොල රාහුල හිමියන් විසින් රචිත බුදුන් වදාළ ධර්මය කෘතිය හිටපු ජනාධිපතිවරයා අතින් පිළිගන්වන ලදී.

හිටපු අමාත්‍ය ආචාර්ය බන්ධුල ගුණවර්ධන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය.

අනගාරික ධර්මපාලතුමා ගැන මේ වගේ කාලයක කතා කරන්නට ලැබීම භාග්‍යයක් විදිහටයි මම සලකන්නේ. නරේන්ද්‍ර මෝදි මහත්මයා ලංකාවට ආපු වෙලාවේ ප්‍රකාශ කළේ ධර්මාශෝක රජතුමා මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට එවලා මේ රටට ධර්මය ප්‍රචාරය කළ බවයි. ඒ වගේම ධර්මපාලතුමාත් ලංකාවේ ඉඳලා ඉන්දියාවට ගිහින් නැවත පුනර්ජීවයක් ඇති කරන්නට කටයුතු කළා. නමුත් එතුමා ඒ දුන්නු පණිවුඩය අපි හරියට ශ්‍රවණය කළාද කියන ගැටලුව මට ඇති වෙනවා. අපි ඒ පණිවුඩය බැරෑරුම් විදියට අරගත්තේ නැහැ කියලයි මම නම් හිතන්නේ. එතුමාගේ දර්ශනය ගැඹුරට හැදෑරුවා නම් මේ රටේ නායකයන් අද මේ රටට කරන දේවල් අපට නවතා ගන්න තිබුණා.

දේශීය කර්මාන්ත දියුණු කිරීමට ධර්මපාලතුමා දුන්නා වූ සහාය සහ මඟපෙන්වීම ඉතා විශිෂ්ටයි. පේෂකර්මාන්තය, ගිනි පෙට්ටි කර්මාන්තය ඇතුළු කර්මාන්ත විශාල ප්‍රමාණයක් එදා ඇරැඹුණේ දේශීය කර්මාන්තය ගොඩනැඟීම වෙනුවෙනුයි.

දැන් මොකද වෙලා තියෙන්නේ. දැන් වෙන්නේ මම කලින් සඳහන් කරපු කාරණයේ අනිත් පැත්තයි. අපේ කර්මාන්ත ශාලා වහලා, විදේශීය කර්මාන්තකරුවාගේ නිෂ්පාදන අපේ රටට ගෙන ඒම සිදුවනවා. සිංගප්පූරු ගිවිසුම නිසා මේ දෙක අතර විශාල පරස්පරයක් තිබෙනවා.

ධර්මපාලතුමා එදා ලංකාව ගැන කලකිරීමෙනුයි සිටියේ. එතුමා ඉන්දියාවට ගිහින් කිව්වා මගේ අළුවත් ලංකාවට යවන්න එපා කියලා. ඇයි එහෙම කිව්වේ? මොකක්ද හේතුව. එතුමා කිව්වේ බැනුම් අහන්න බැරි නම් වැඩ කරන්න එපා කියලා. මේ දේවල් පිටුපස්සේ ඉන්නේ කවුද කියන එක මම කියන්නේ නැහැ. ඒ කවුද කියලා ඔබලා හොඳාකාරව දන්නවා.

ධර්මපාලතුමාගේ ජීවිත කාලය තුළ වෘත්තීය පුහුණුව වෙනුවෙන් ආයතන බිහිවුණා. මහා බෝධියෙනුත් එවැනි ආයතන පිහිටුවලා තිබෙනවා. ඒ නිසයි මම කම්කරු ඇමැතිතුමා විදියට ඉන්න කාලේ වෘත්තීය පුහුණු අධිකාරියක් පිහිටුවලා වෘත්තීය ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමේ පියවරයන් ගත්තේ.
අද රටේ දරුවන් නොමඟ ගිහින්. දරුවන් මත් උවදුරට ගොදුරු වෙලා. මේවා පිළිබඳව ආණ්ඩුව වැඩි අවධානයක් යොමු කළ යුතුයි. රටක්, ජාතියක් විනාශ මුඛයට යන්න දෙන්නට බැහැ රජයකට. අනගාරික ධර්මපාලතුමාගේ දර්ශනය අත්‍යවශ්‍යම කාලයක් දැන් උදාවී තිබෙනවා. එවැනි උතුම් නායකයන් අපේ රටින් නැවත බිහිවිය යුතුයි.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය
ඡායා - දුමිඳු වනිගසේකර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon