තව වසර 25ක් මේ විදියට ගොඩනැඟිලි හැදුණොත් ආහාර නිෂ්පාදනයට ඉඩක් නැති වෙනවා

  👤  3378 readers have read this article !
By mawbima 2018-09-18

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, භූ විද්‍යා දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන ගස් කැපීම්, පස් කැපීම් යනාදී ව්‍යාපාරවලට අනුමැතිය ලබා දුන්නද අනුමැතියෙන් පසුව ඒ සම්බන්ධයෙන් කිසිදු අධීක්ෂණයක් නොකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (17දා) පැවැති ජාත්‍යන්තර ඕසෝන් දින සැමරුම් උත්සවය අමතමිනි.
ඕසෝන් ස්තරයේ පැවැත්ම මෙන්ම එය සුරැකීමට අදාළ ජාත්‍යන්තර සම්මුතීන් හා සන්ධාන බිහිවීම ආදිය සම්බන්ධයෙන් මෙහිදී විශේෂිත දේශනය කරනු ලැබුවේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා විසිනි.
මෙම උත්සව අවස්ථාව ඇමතූ ජනාධිපතිවරයා,
මං ජනාධිපති ධුරයට පත්වෙලා ඉන්නකොට සාකච්ඡා කරද්දී රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය ව්‍යවස්ථාවෙන්ම ලැබෙනවා, අනිත් ඕනෑම අමාත්‍යාංශයක් භාර ගන්නැයි කියලා. මං ගත් කටටම කිව්වේ මහවැලි හා පරිසර අමාත්‍යාංශය ගන්නවා කියලා.

මොරගහකන්ද - කළු ගඟ ව්‍යාපෘතියේ කඩිනම් නිමාවක් දැකීමටත් අනෙක් පැත්තෙන් පරිසරය විනාශ වීම බරපතළම සිද්ධ වූ නිසාත් මා මේ අමාත්‍යාංශය භාරගත්තේ. දේශපාලනඥයෝ තමයි වැඩිපුර ගස් කැපුවේ. ගල් කඩන්නේ. පස් කපන්නේ. කළුතර දිස්ත්‍රික්කයේ එක ප්‍රාදේශීය කොට්ඨාසයක් තියෙනවා ඒ තුළ විතරක් විශාල කළුගල් කඩන මධ්‍යස්ථාන 86ක්. වරකපොළ පැත්තේ පස් කන්දක් කපාපු එක තහනම් කළා කියලා මට නඩු දැම්මා. ඒ පස් කන්ද කපද්දී භූ විද්‍යා හා පතල් කාර්යාංශය බලපත්‍ර දීලා තිබුණා. පස් කපන්න ආයතන 16ක අනුමැතිය අවශ්‍යයි. ඒ ආයතන අනුමැතිය දුන්නාට ඒ පිළිබඳ කිසිදු අධීක්ෂණයක් කරන්නේ නැහැ. ඒ පස් කපාපු ව්‍යාපාරිකයා ගමේ අයට කිව්වේ මේක ජනාධිපතිගේ වැඩක් කවුරුවත් විරුද්ධ වෙන්න එපා කියලා. ඒ එක්ක ගමේ විශාල දෝෂාරෝපණ මට ආවා. අහවල් ගම්මානයේ අය ඔබතුමාට දැඩිලෙස නින්දා අපහාස කරනවා කියලා රාජ්‍ය ඔත්තු සේවය සැල කළා. මම සොයලා බැලුවම විශාල පස් කන්ද කපනවා. මං දැනගත්තාට පස්සේ පැය 24ක් ඇතුළත තහනම් කළා. ඒ පුද්ගලයා නඩු දැම්මා ඒ තහනම් කිරීමට විරුද්ධව. ගස් කැපීම, ගල් කැඩීම, පස් කැපීම ඉතාම දූෂිත ව්‍යාපාර.

මා මේ අමාත්‍යාංශය භාර ගත්තේ මේවාට දැඩි නීතිරීති පැනවිය යුතු නිසා. මේ රටේ පළමු වතාවටයි ත්‍රිවිධ හමුදාව යොදවලා පරිසරය සංරක්ෂණය කරගන්නේ. ගුවනින් ගස් කපන තැන් නිරීක්ෂණය කරලා වාර්තා කරන්නේ ගුවන් හමුදාව. නාවික හමුදාවේ කාර්යය හොරෙන් දැව මුහුද හරහා පටවන දේවල් වටලන්න. ඔවුන් පැය 24ම ඒ කාර්යයේ නියැළෙනවා. පොලිසියේ අයයි යුද හමුදාවේ අයයි ගිහින් වැටලීමක් කළාම නීති විරෝධීව ගස් කපපු අය නඩුවක් දැම්මා යුද හමුදාව අත්අඩංගුවට ගැනීම වැරදියි කියලා. යුද හමුදාව වගඋත්තරකාරයෙක් කෙරුවා. අපි කරුණු ඉදිරිපත් කළා යුද හමුදාවට පොලිස් බලතල නැති හින්දයි පොලිසිය එක්ක වැටලීම් කළේ කියලා. නීතිවිරෝධී ජාවාරම්කාරයෝ නීතියේ දුර්වලතා කොතෙක් දුරට පාවිච්චි කරනවාද කියලා තේරුම් ගත යුතුයි.
ඕසෝන් ස්තරය ගැන කතා කරන කොට පරිසරයේ සම්පත්, පරිසර සංරක්ෂණ ක්‍රමවේද ආදියත් ගැන සැලකිලිමත් විය යුතුයි. ඕනෑම තැනක ගොඩනැඟිලි හැදෙනවා. නමුත් දූපත් රාජ්‍යයක් විදියට පුංචි භූමියේ වැඩිවෙන ජනගහනයත් එක්ක පුළුල් ඉදිකිරීම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාව තිබෙනවා. තව අවුරුදු 25ක් මේ විදියට ගොඩනැඟිලි හැදුණොත් ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය ඉඩම් නැතිවෙනවා. වාර්ෂිකව වන ගනත්වයෙන් 1.5%ක් විනාශ වෙනවා.

දැන් 28%ක් 27%ක් තියෙන එක තව අවුරුදු 25කින් කාන්තාරයක් බවට පත්වේවි කියන කාරණය සෑම කෙනෙක්ම සිතිය යුතුයි. ඒ නිසා වන ගනත්වය වර්ධනය කර ගැනීමටත් ස්වාභාවික සම්පත් ආරක්ෂා කර ගැනීමත් ජාතික වශයෙන් ක්‍රියාත්මක කළ යුතු ප්‍රතිපත්තීන් ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුයි. ඒ වාගේම සෑම අයකුම සිය වගකීම් ඉටුකළ යුතුයි.

පහන් විජේසේකර
ඡායා - අශාන් ගමගේ 

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon