සියලුදෙනා කරන්නේ හොර වංචනිකයන්ව දේශපාලනඥයන් හැටියට පුම්බන එකයි

  👤  3645 readers have read this article !
By mawbima 2018-09-18

රටේ ප්‍රශ්නවලින් ගැලවී යුක්ති සහගත රාජ්‍යයක් ගොඩනැඟීමේ අවසන් අවස්ථාව 2020 බව ජාතික විද්වත් සංවිධානය පවසයි.

එහි විධායක කමිටුව නියෝජනය කරන නීතිඥ හර්ෂණ නානායක්කාර පැවැසුවේ වසර 70ක් තිස්සේ බලයට පත් වූ පාලකයන් රටට සිදු කළ විනාශයත් සමඟ ජනතාවටද එහි වරදක් නොපෙනෙන ආකාරයට පත්තියන් වී ඇති බවයි.

ඔහු පැවැසුවේ මහ භාණ්ඩාගාරයේ මුදල් සොරා නොකන ආර්ථික, දේශපාලන, සමාජීය වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පසුබිමක් රට තුළ ස්ථාපිත කිරීමට පෙරමුණ ගන්නා බවත් ජනතාව ජාතික විද්වත් සංවිධානය සමඟ ඒකරාශී විය යුතු බවත්ය.

මෙම මාධ්‍ය හමුව ඊයේ (17දා) මරදාන සමාජයීය හා සාමයික කේන්ද්‍රයේදී පැවැත්විණි.
වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ හර්ෂණ නානායක්කාර,

බැඳුම්කර වංචාව බලන්න. භාණ්ඩාගාර මුදල් මේ වංචාවට යොදා ගත්තේ. ශ්‍රී ලංකන් එයාර් ලයින් එකේ පාඩුව මිලියන 460යි. ඒ පාඩුව අය කරන්නේ මහා භාණ්ඩාගාරයෙන්. අපේ අල, ලූනු, පරිප්පු ටිකට ගහන බද්දෙන්.
අද පාලකයන්ට ආර්ථික උපාය මාර්ග නෑ. මිනිස්සු සන්තෝෂ කරන්න පොඩි පොඩි ඒවා ටිකක් දීලා නිකම් ඉන්නවා. හොරු දූෂිතයෝ මේ පාලනයෙන් ඇල්ලුවාද? නෑ. මේ අයත් ඒ පාරෙම යන්නේ. මං ඒකයි කිව්වේ 2020 තමයි අවසන් අවස්ථාව.

බොහෝමයක් පුළුල් බව මනින්න පුරුදු වෙලා ඉන්න සංඛ්‍යාවෙන්. නමුත් පුළුල් බව පිරිපුන් වන්නේ ගුණාත්මක බවින් පිරුණු විටයි. අප එළිදක්වන ප්‍රතිපත්ති ගුණාත්මක බවින් යුතුයි. ලබන ජනවාරි එය ජනතාව අතට පත් කිරීමටත් සූදානම්.

ආචාර්ය අතුලසිරි සමරකෝන්,
රටේ දේශපාලන භූමිය වංචනිකයන්ගෙන් බේරා ගත යුතුව තිබෙනවා. 1978න් පසු රටේ දේශපාලන භූමිය අත්කරගෙන තියෙන්නේ වංචනිකයන්, තක්කඩියන්. අද සියලු දෙනාම කරන්නේ අර හොර වංචනික දේශපාලකයන්ගේ නායකයන් හැටියට පුම්බන එක. මාධ්‍ය ආයතනවලට න්‍යාය පත්‍රයක් තියෙනවා. අපි සියලුදෙනාම මේ සමාජයේ කොටස්කරුවන්. නමුත් ආත්මාර්ථකාමී ලෙස පුද්ගලයන් පිම්බීමට භාවිත කරන න්‍යාය පත්‍රයකට යට වෙලා. මේ යුගයේ ක්‍රියාත්මක වන සියලුම බලවේගවල අවසානය කෙනෙක්ව පිම්බීම. අපි එය සබුද්ධිකව වටහා ගත යුතුයි.

රට පත්වී ඇති දුක්ඛිත තත්ත්වය අවංකව වටහා ගත යුතුයි. විනයක් සහිත දේශපාලන පක්‍ෂයක් රට තුළ ක්‍රියාත්මක විය යුතුයි. පවතින පක්‍ෂවලට මේ රට ඉදිරියට ගෙන යා හැකිද ඇත්තටම? අසත්‍ය, අයුක්තිය, අසාධාරණය අපි මොන තත්ත්වයක වුවත් හෙළි කළ යුතුයි. කතා කළ යුතුයි. රට, සමාජය බේරා ගැනීමට නම් අපි පෙරට ආ යුතුයි. ඇත්ත කතා කළ යුතුයි.

සිංගප්පූරු ගිවිසුම බලන්න. මේ වගේ භයානක ගිවිසුම් පරාජය කරන්න නම් පාර්ලිමේන්තුවේ කතා කළ යුතුයි. කීදෙනාද මේ ගැන පාර්ලිමේන්තුවේ කතා කළේ. මාධ්‍ය ආයතන කීයෙන් කීදෙනාද? මේ ගැන සෘජුව ප්‍රශ්න කරන්නෙ? අපේ රටේ කොච්චර දූෂණ, භීෂණ තියෙනවාද? කොමිස් කුට්ටි කඩා ගන්නවාද? අපි මේ ගැන හෙළි නොකර හිටියොත් මේ කරන්නේ රැකියාවක් පමණයි.

තමන්ගේ ප්‍රතිරූපය ඉහළ නංවන්න කරන නෂ්ටකාමි දේශපාලනය පුම්බන්න එපා. තමන්ට ප්‍රශ්නයක් ආවම ඇමෙරිකාවට දුවන, දේශපාලනඥයන් ඉන්න රටක් මේක. රට ඉතාම අනතුරක තියෙන්නේ. අවංක සත්‍යවාදී තරුණ නායකයන්ට මේ රට භාර දීමට අපි පෙළ ගැසෙමු. අපිට අපේ රැකියාව කොන්ද පණ ඇතිව කරන්න බැරි නම් එළියට බහිමු. පාර්ලිමේන්තුවේ 90%ක් දූෂිතයි.
ජේ‍යෂ්ඨ කථිකාචාර්ය අනිල් ජයන්ත,
නිද්‍රාශීලී අකාර්යක්‍ෂම දේශපාලනයට තිත තැබිය යුතු බවයි අපි විශ්වාස කරන්නේ. පාලන වෙනස් කිරීමට විවිධාකාරයෙන් මිනිස්සු ඉතිහාසයේ මැදිහත්ව තිබෙනවා. නමුත් පක්‍ෂයක්, පාටක්, පුද්ගලයෙක් ඔසවා තැබීම වෙනුවට මේ මොහොතේ ඉතාම ශක්තිමත් වැඩපිළිවෙළක් ගොඩනැඟිය යුතුයි. ඒ සඳහා අපි ප්‍රතිපත්ති 10ක් සකසමින් යනවා. එය වෙනස් මහජනතාව මීට සම්බන්ධ කර ගැනීමට ගමින් ගමට යනවා. මහජනතාවට අන් අදහස් දැමීම තුළ ඔවුන්ටත් ඔවුන්ගේ අදහස් අප හා ගැබ්ව තිබෙන බව විශ්වාසයි. එවිටයි සමස්ත ජනතාවගේ තීන්දු තීරණ සාමුහික තීන්දු බවට පත් වෙන්නේ.

මහජනතාවට මා ආයාචනා කරනවා අප සමඟ එක්වන්න. අපි හොඳ ප්‍රතිපත්තියක් සකසමු. ඒ අනුව හොඳ දේශපාලනයක් ගොඩනඟමු. එසේ නොවුණොත් වසර 70ක ගෙවුණු ආකාරයටම රට මේ තත්ත්වයේ පවතීවි. අපි අපේ ඉරණම වෙනස් කරගන්න එකතු වෙමු.

විශේෂඥ වෛද්‍ය ලාල් අබේසිංහ,

දුන් පොරොන්දුවලින් කොපමණ ප්‍රමාණයක් හෝ ඉටු කළාද කියලා හොයා බලන්නවත් මේ පාලනයට වුවමනාවක් නෑ. අපි අද බරපතළ ණය උගුලක හිර වෙලා. රට ගෙනියන්නේ එදිනෙදා මොනවා හරි විකුණලා. ණය බරින් මිරිකෙද්දී එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැනි වැඩසටහන් හරහා ණය දෙන ක්‍රම ගේනවා. අද රටේ සෞඛ්‍ය ගැන කොතරම් කතා කළත් නිදහසින් පසු ලැබුණු සුබසාධනයත් සමඟ ඒ ලැබුණු දේවල් නව ලිබරල්වාදි ක්‍රමය හරහා රටට අහිමි වෙලා.

බැලූ බැල්මට පාරවල්, ගොඩනැඟිලි පේනවා. නමුත් අපේ ජීවිතවලට මොකද වෙලා තියෙන්නේ. මෙය නැවැත්වීමට දේශපාලන පක්‍ෂයකට පමණක් කළ හැකි දෙයක් නොවෙයි. ඊට විද්වත් කණ්ඩායමක් අවශ්‍යයි. ඒ සඳහා අපි ජාතික ප්‍රතිපත්ති 10ක් ඉදිරිපත් කර තිබෙනවා. ජාතික විද්වත් සංවිධානය හැටියට ජාතික ප්‍රතිපත්ති ජනතාව අතරට ගෙන යෑමට කටයුතු කරනවා. 2020 වන විට රටේ පුළුල් ජනතා බලවේගයක් ගොඩනඟන්න අපි සූදානම්.
අනුරාධා හේරත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon