ඉකුත් වසර පහේ උතුරේ සංවර්ධනයට ලැබුණු මුදලින් සතයක්වත් ආපසු හරවා යවා නැහැ

  👤  3497 readers have read this article !
By mawbima 2018-09-18

ලක්ෂ්මී ජයකොඩි

පසුගිය වසර පහක කාලයේදී උතුරු පළාත් සභාවට ලැබුණු මුදල්වලින් සතයක මුදලක් ආපසු යවා නැති බව උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් මහතා පවසයි.
අමාත්‍යවරයා කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත යවා ඇති නිවේදනයේ මේ බව සඳහන් කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද දක්වා තිබේ.

ඉතාමත් දුෂ්කර කාලවකවානුවකදී මට කළ හැකි පමණින් කළාය යන තෘප්තිය මට තිබෙනවා. මගේ ඉදිරිපිට බාධක රැසක් තබා තිබෙනවා. එහෙත් ඒ සියල්ල මාගේ ජනතාවගේ සහයෝගය මත මට ජය ගැනීමට හැකි වුණා. මම එක් බාහිර පුද්ගලයෙක්. නමුත් අද ජනතාව මාව ඔවුන්ගේම අයකු බවට පත් කරගෙන තිබෙනවා. ඒ නිසා ඔවුන් වෙනුවෙන් කටයුතු කිරීම මගේ වගකීමක්. සමාජ ආර්ථික, දේශපාලනමය වශයෙන් අභියෝග රැසකට මට මුහුණදීමට සිදුව තිබෙනවා. එයට අපගේ නියෝජිතයන් සහයෝගය ලබා දෙනවා නම් එම අභියෝග ජයග්‍රහණය කිරීම එතරම් අපහසු නොවනු ඇත.

දෙමළ නිජබිම යන්න ජන කතාවක් නොවෙයි. එය සත්‍ය කතාවක්. බුදුන් වහන්සේගේ උත්පත්තියටත් පෙර ද්‍රවිඩයන් මෙරට වෙරළාසන්න ප්‍රදේශවල ජීවත්ව තිබෙනවා. මීගමුව වෙරළ තීරයේ සිට වන්නියටද එතැන් සිට නැඟෙනහිර පළාතේ තිරුක්කෝවිල් ප්‍රදේශය දක්වාද ඔවුන් පැමිණ තිබෙනවා. මොවුන් එතැන් සිට කතරගම දක්වාම ජනාවාස වී තිබෙනවා. ක්‍රිස්තු පූර්ව 6/7 කාලයට පෙර මෙරට සිංහල ජනාවාස නොතිබුණු බව මගේ මතයයි. සිංහල භාෂාව ඇතිවී තිබෙන්නේ පාලි, සංස්කෘත හා ව්‍යවහාර භාෂාවන්ගෙන්.

කෙසේ වෙතත් අපගේ ඉතිහාසය, පරම්පරාව ආරක්‍ෂා කර ගැනීමේ වගකීම දැන් අපට පැවරී තිබෙනවා. අපගේ සහෝදරයන් අපගේ ඉතිහාසය පිළිබඳවත් තමන්ගේ ඉතිහාසය පිළිබඳවත් වැරැදි කරුණුවලින් පෝෂිත වී සිටිනවා. එම දැනුමයි ඔවුන්ගේ කටයුතු හා හැසිරීම්වල අක්මුල් බවට පත්ව තිබෙන්නේ.

අපගේ දේශපාලන දැක්ම වෙනස්ව තිබෙන බවයි ඇත්ත කතාව. සිංහල ජනතාවගේ ලැබෙන දේ හකුළාගෙන ජීවත් වීම යහපත් යැයි ඇතැමුන් සිතන්න පුළුවන්. එහෙත් මේ චින්තනය හේතුවෙන් අපගේ පාරම්පරික සලකුණු සදහටම නැතිව යා හැකි බවට බියක් තිබෙනවා. ඔවුන්ගේ කැමැත්ත අපට සංස්කෘතික, සමාජීය, ආගමික හා භාෂාමය වශයෙන් පවත්නා අනන්‍යතාව රැක ගැනීමයි.
අපගේ අනන්‍යතාවන් තේරුම් ගැනීමම අප ජාතියේ ප්‍රගමනයට හේතු වනු ඇත. ජාතික ගැටලුවට විසඳුමක් ලබා ගැනීමට නම් අප සියලු දෙනා එකමුතු විය යුතු බව පවසන්නේ එය කඩිනම් කර ගැනීම සඳහායි. ආර්ථික ගැටලු සම්බන්ධයෙන්ම අප අවධානය යොමු කරනු ලැබුවොත් දේශපාලන ගැටලුව අපට අමතක වනු ඇත.

තම සංස්කෘතිය, ආගම, භාෂාව හා සමාජමය වශයෙන් අපට යම් අනන්‍යතාවක් තිබෙන බව සිතන පිරිස දෙමළ ජනතා සංසදය හා ඉන්නවා. යම් දේශපාලනමය සංවිධානයක් මඟින් එම තත්ත්වය තහවුරු කරගත යුතු බව සිතනවා. 'අවදි වනු දෙමළ' සංවිධානය මඟින් සංවිධානය කරනු ලබන රැස්වීම්වලට ජනතාව ඒකරාශීවීම මඟින් ඒ බව තහවුරු වෙනවා. වෙනත් දේශපාලන සංවිධානයක් පිළිබඳ කතාබස් වෙනවා. මේ පිළිබඳව තීරණයක් ගෙන නැහැ.
අපගේ දෙමළ ජනතාවත් ජාත්‍යන්තර දෙමළ ජනතාවත් අතර හොඳ සබඳතාවක් මම ගොඩනඟා තිබෙනවා. දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය ජාත්‍යන්තර දෙමළ ප්‍රජාව හමුවේ හිස ඔසවා සිටියා. තමන්ටත් ත්‍රස්තවාදීන් යන නම පටබැඳිය හැකි බවට තිබුණු බය මෙයට හේතුවයි. මගේ මතය නම් අප අපගේ ගැටලුවට විසඳුමක් සෙවිය යුත්තේ ජාත්‍යන්තර දෙමළ ප්‍රජාවගේද සහාය ඇතිවයි. ඔවුන් අපගේ ශක්තියයි.
අප කුමක්ද කළේ යන්න හඳුනා ගනු ලබන්නේ පිටස්තරයන් මිස තමන් නොවෙයි. අපගේ ජනතාවට නිදහස ලැබිය යුතු බව මම මාගේ සියලු කතා පුරා අඛණ්ඩව පවසා තිබෙනවා. සියල්ල අවසන් බව බොහෝ දෙනකු සිතා සිටියදී කිසිම දෙයක් එසේ අවසන් නොවූ බව ඒත්තු ගැන්වීමට මට හැකි වුණා.

අභියාචනාධිකරණ කරුණු දක්වා ඇති පරිදි කවර හෝ අමාත්‍යවරයකු ධුරයෙන් ඉවත් කිරීම හෝ ධුරයට පත් කිරීම පිළිබඳ සඳහන් වන්නේ නැහැ. එම අයිතිය ඇත්තේ ආණ්ඩුකාරවරයාටයි. එහෙත් අධිකරණයට අපහාස කිරීමේ වරද මා හට තිබෙනවා. කෙසේ වෙතත් එය අධිකරණ නීතියට යටත් වෙනවා. එබැවින් එම කරුණු විභාග වන නඩුවක් බැවින් කතා කිරීම වරදක්.

මා ඉතාමත් හිතුවක්කාර අයකු ලෙස ඇතැමුන් චෝදනා කරනවා. අනෙක් විවේචනය තමයි උතුරේ සංවර්ධනයට එවනු ලබන මුදල් ආපසු යවනවා කියන චෝදනාව. පසුගිය වසර පහක කාලය පුරාවට එකම සතයක් අපි නැවත මධ්‍යම ආණ්ඩුව වෙත හරවා යවා නැහැ. තවත් මෙවැනි විවේචන ඕනෑ තරම් කියනු ඇති. අනෙක් විවේචනය තමයි මා හට පරිපාලනය නොහැකි බව. 2015 වසරේදී රාජ්‍ය ආයතන 850කින් අප මහ ඇමැති අරමුදල හා මූල්‍ය කළමනාකරණය පළමු ස්ථානය හිමි කර ගත්තා.

ජනතාව මා මෙසේ විවේචනය කරනවා නම් එහි අර්ථය වන්නේ මෙවැනි ක්‍රියාවන්ද වැරැදි බවට ඔවුන් පිළිගන්නා බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon