අධික වැසි සහිත සුළි කුණාටු නිසා නැ. ආසියාවට යන ශ්‍රී ලන්කන් ගුවන් ගමන් කීපයක් අවලංගු කෙරේ

  👤  3392 readers have read this article !
By mawbima 2018-09-18

කටුනායක - ටී.කේ.ජී. කපිල

නැඟෙනහිර ආසියානු ප්‍රදේශයට බලපා ඇති අධික වැසි සහිත සුළි කුණාටු තත්ත්වය නිසා එම ප්‍රදේශයට පියාසර කරන ගුවන් ගමන් වාර කිහිපයක් ප්‍රමාද කිරීමට සහ අවලංගු කිරීමට එරට ගුවන්තොටුපොළවල දැනුම්දීම මත කටුනායක ගුවන්තොටුපොළ බලධාරීන් මෙන්ම ශ්‍රී ලන්කන් ගුවන් සේවා බලධාරීන්ද කටයුතු කර තිබේ.

චීනයේ ග්වැන්ෂෝ (කැන්ටන්) ගුවන්තොටුපොළ වසා දමා ඇති බව එරට ගුවන්තොටුපොළ බලධාරීන් ශ්‍රී ලංකාවට දන්වා එවා ඇති අතර ඒ අනුව ඊයේ (16දා) දහවල් 2.30ට චීනයේ ග්වැන්ෂෝ බලා පිටත්ව යෑමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 880 දරන ගුවන් යානය අද (17දා) අලුයම 12.20 තෙක් පැය 10ක කාලයක් ප්‍රමාද කර තිබේ.

ඊට අමතරව චීනයේ ග්වැන්ෂෝ සිට ඊයේ සවස 6.35ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිතව තිබූ "චයිනා සදර්න්" ගුවන් සේවයේ සී. ඉසෙඩ් - 3059 දරන ගුවන් යානයේ ගුවන් ගමන එරට බලධාරීන් විසින් අවලංගු කරන ලදී.

එමෙන්ම හොංකොං සිට ඊයේ අලුයම 12.16ට පැමිණි කැතේ ෆැසිපික් ගුවන් සේවයේ සී.එක්ස් - 611 දරන ගුවන් යානය ඊයේ රාත්‍රි 11.05 තෙක් සිය ගුවන් ගමන පැය 24ක කාලයක් පිටත්වීම සඳහා ප්‍රමාද කර තිබේ.
මෙම සියලු ප්‍රමාද වීම් සහිත ගුවන් යානාවල පිටත්වීම එම ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත තවදුරටත් ප්‍රමාද වීමට හෝ එම ගුවන් ගමන් සම්පූර්ණයෙන් අවලංගු වීමටත් ඉඩ ඇතැයි කටුනායක ගුවන් තොටුපොළ කාර්ය භාර නිලධාරිවරයා ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon