ඉල්ලීම් 4ක් මුල් කරගෙන වනජීවී නියාමකයන් අකුරට වැඩ

  👤  3459 readers have read this article !
By mawbima 2018-09-18

මොනරාගල - සංජීව බණ්ඩා

වෘත්තීය ඉල්ලීම් 4ක් මුල්කර ගනිමින් සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමය ඉකුත් 14දා සිට දීප ව්‍යාප්තව අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹ සිටිති.
ඔවුන් පවසන්නේ මේ අනුව වනජීවී නිලධාරීන් කැප කිරීමෙන් කරන සේවාවන්වලින් ඉවත් වී පෙරවරු 8.30-4.15 දක්වා කාලයේ පමණක් සේවයේ නිරත වන බවයි.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍ෂේත්‍ර නිලධාරීන් මුහුණ දෙන වෘත්තීයමය ගැටලු පිළිබඳව වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා හා විෂය භාර ඇමැතිවරයා සමඟ සාකච්ඡා කළද ඉන් ප්‍රතිඵලයක් නොලැබුණු නිසා තම සංගමයට මෙම තීරණය ගැනීමට සිදු වූ බව සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ටී.බී. එම්. සඳරුවන් මහතා පවසයි.

ක්‍ෂේත්‍ර නිලධාරීන්ගේ රාජකාරි කාල සීමාව සම්බන්ධ 02/2016 චක්‍රලේඛයේ ඇතුළත් කර ඇති ඇතැම් වගන්ති සංශෝධනය කිරීම, වන සත්ත්ව නියාමක හා ක්‍ෂේත්‍ර සහායක තනතුරට බඳවාගැනීම සඳහා වර්තමානයේ පවතින බඳවා ගැනීමේ පටිපාටිය සංශෝධනය කරමින් අවම අධ්‍යාපන සුදුසුකම් සහිත පිරිස් දේශපාලනික අවශ්‍යතාවන් මත තනතුරුවලට බඳවා ගැනීමට උත්සාහ දැරීමට විරෝධය පළ කිරීම, ක්‍ෂේත්‍ර නිලධාරීන්ගේ වැටුප් විසමතාව ඉවත් කර වනජීවී නියාමක නිලධාරීන්ගේ වැටුප ර්ව්-3 වැටුප් තලයේ පිහිටුවීම හා 2016 වසරේ සිට සිදුකරන ලද නව වැටුප් සංශෝධනයට අනුව ක්‍ෂේත්‍ර
නිලධාරීන්ට ගෙවනු ලබන දිරි දීමනාව අතිකාල පැය 150ට සමාන වන සේ වැඩි කිරීම සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටින වෘත්තීය ඉල්ලීම් වේ.

මෙම සංගමය පවසන්නේ තම වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් වන අලින්ගෙන් ජනතාවට සිදුවන පීඩාවන්, ජාතික වනෝද්‍යානවලදී සංචාරකයන් හට ඇති වන ප්‍රමාද හා අනතුරට පත්වන සතුන් මුදා ගැනෙන කටයුතුවලදී සිදුවන ප්‍රමාද වීම් හේතුවෙන් මහජනතාවට සිදුවන අපහසුතාවන් පිළිබඳව සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමය කනගාටු වන බවයි.
අප මේ සම්බන්ධව විමසීමට වනජීවී සංරක්ෂණ
දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.පී.සී. සූරියබණ්ඩාර මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය අසාර්ථක විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon