හලාවත අධිකරණ භූමියේදී තරුණයකුට පහරදුන් බන්ධනාගාර නිලධාරියා අත්අඩංගුවට

  👤  3366 readers have read this article !
By mawbima 2018-09-18

ප්‍රසාද් පූර්ණමාල්

හලාවත අධිකරණ පරිශ්‍රයේදී රිමාන්ඩ් සිරකරුවකුට පහරදීමක් සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරියකු හලාවත මූලස්ථාන පොලිසිය විසින් 14දා අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ සුමිත් දිසානායක (21) නමැති මාරවිල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

බීමත්ව අපරික්‍ෂාකාරී ලෙස යතුරුපැදියක් පැදීමේ චෝදනාව මත මාදම්පේ පොලිසිය විසින් මොහු අත්අඩංගුවට ගෙන හලාවත මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී මහෙස්ත්‍රාත්වරයා විසින් රුපියල් පන්දහසක දඩයක් නියම කර තිබේ.

මේ තරුණයා විවාහ ගිවිසගෙන සිටින තරුණිය හා ඇගේ මව දඩ මුදල ගෙවා පැමිණ බන්ධනාගාර නිලධාරිවරයාට ලදුපත ලබාදී ඇති අතර එහිදී මේ පහරදීම සිදුව තිබේ. මේ පහරදීමෙන් තුවාල ලැබූ තරුණයා හලාවත මහ රෝහලේ හත්වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබයි. තමන්ට මේ පහරදීම සිදු කළේ හලාවත අධිකරණ භූමියේ සිටි පොලිස් නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් බලා සිටියදී බව පහර කෑමට ලක්වූ තරුණයා ප්‍රකාශ කෙළේය.
මට මේ වගේ සිදුවීමක් වුණේ ප්‍රථම වතාවට. මට එක පාරක් මේ නිලධාරියා කතා කරලා තියෙනවා. මට ඇහුණේ නැහැ. පස්සේ මම ඇහුණු ගමන් ආවා කවුද අකැමැති හිරෙන් එළියට එන්න. මම එනවත් එක්කම මට පහර දුන්නු නිලධාරියා ඇහුවා එක පාරක් කතා කළා ඇහුණේ නැද්ද කියලා. මම කීවා ඇහුණේ නැහැ කියලා. එතකොට මෙයා මට ගහගෙන ගහගෙන ගියා.

මගේ නහයෙන්, කටෙන් ලේ දැම්මා. පස්සේ මේ අය මං ගෙවපු දඩ කොළෙත් හංගගන්න ගියා. ඒ කියන්නේ අපේ පිට වැරැද්ද පටවන්න. ඊට පස්සේ මාව හලාවත මහ රෝහලට ඇතුළත් කළා.
මේ පහරදීම පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක් පවත්වන ලෙස මාදම්පේ පදිංචි නිර්මලා ජයවර්ධන මහත්මිය වගකිවයුත්තන්ගෙන් ඉල්ලයි.

මේ පුතා තමයි මගේ දුව බඳින්න ඉන්නේ. මේ ළමයා හරි අහිංසක තැන්පත් කෙනෙක්. අධිකරණය ඇතුළේ දෙනෝදාහක් සිටිද්දී මෙහෙම පහර දෙනවා නම් රිමාන්ඩ් එකේදී කොහොම ගහනවා ඇද්ද කියලා තමයි අපිට හිතන්න වෙන්නේ. මේ පහර දුන්න වෙලාවේ නඩුකාර මහත්තයා උසාවියෙන් බැහැලා ගියා විතරයි.

මේ පිළිබඳ නිර්මලා ජයවර්ධන මහත්මිය හලාවත පොලිසියට පැමිණිල්ලක් කර ඇත. මේ පිළිබඳ කළ විමසීමේදී හලාවත මූලස්ථාන පොලිස් පරීක්‍ෂක වසන්ත හේරත් මහතා ප්‍රකාශ කෙළේ මේ වන විට පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවයි. සැකකරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කරන බවද පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon