හමුදාවේ අය අත්අඩංගුවේ තියාගෙන ප්‍රශ්න කිරීම නතර කළ යුතුයි

  👤  2370 readers have read this article !
By mawbima 2018-09-14

රුචිර දිලාන් මධුශංක

ත්‍රිවිධ හමුදා නිලධාරීන්ව පොලිස් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් ඔවුන්ව අපහසුතාවට පත්වන ආකාරයෙන් සිදුකරන අඩන්තේට්ටම් වහාම නතර විය යුතු යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (13දා) පැවැති විශේෂ කැබිනට් හමුවේදී අවධාරණය කර තිබේ.

ඔවුන්ට විරුද්ධව නිශ්චිත චෝදනා ඇත්නම් ඊට එරෙහිව නඩු පවරනවා මිස පොලිස් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ප්‍රකාශ සටහන් කර ගැනීම්, ප්‍රශ්න කිරීම් සිදු කිරීම නතර කළ යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත.


නිශ්චිත චෝදනා නොමැතිව ත්‍රිවිධ හමුදා නිලධාරීන් අපහසුතාවට පත්වන මෙවැනි ක්‍රියා සිදුකිරීමෙන් ජනතාව තුළ ත්‍රිවිධ හමුදාවට හිමිවන ගෞරවය පලුදු වන බවද හෙතෙම අවධාරණය කර තිබේ.


ඊට අමතරව රජයක් ලෙස මෙවැනි ක්‍රියාවලට තවදුරටත් ඉඩ ලබාදුනහොත් ජනතාව තුළ අනවශ්‍ය ගැටුම් ඇතිකර ගැනීම සඳහා සංවිධානගත වීමේ ඉඩකඩක් ඇතිවිය හැකි බවද ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත.


ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා රහස් පොලිසියට කැඳවා තිබීමෙන් රට තුළ මහත් ආන්දෝලනයක් ඇති වෙමින් තිබෙන අතර මේ ගැන සාකච්ඡා කිරීම සඳහා මෙම හදිසි කැබිනට් හමුව කැඳවා තිබිණි.


මෙහිදී ඇමැතිවරුන් වන රාජිත සේනාරත්න සහ පාඨලී චම්පික රණවක දීර්ඝ ලෙස අදහස් දක්වා ඇති බවද ආරංචිමාර්ග හෙළි කළේය.
පැය 1 1/2කට ආසන්න කාලයක් පුරා පැවැති මෙම විශේෂ කැබිනට් හමුවේදී පොලිසිය ගැන විවිධ චෝදනා එල්ල වී ඇති අතර විෂය භාර ඇමැතිවරයා සහ වැඩ බැලූ නියෝජ්‍ය ඇමැතිවරයාද කැබිනට් හමුවේ නොසිටීම විශේෂත්වයකි.


ඊට අමතරව අගමැති රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍යවරුන් බොහෝ දෙනකු විදේශගත වීම නිසා වැඩබලන ඇමැතිවරුන් ලෙස නියෝජ්‍ය ඇමැතිවරු බොහෝ දෙනෙක් විශේෂ කැබිනට් හමුව නියෝජනය කළහ.


මේ අතර තරුණයන් 11 දෙනකු කප්පම් ගැනීම සඳහා පැහැරගෙන ගොස් ඝාතනය කළේ යැයි කියන සිද්ධියට සෘජුවම සම්බන්ධ පුද්ගලයන් සිටිනවා නම් ඔවුන්ට විරුද්ධව නඩු පැවැරිය යුතු අතර ඒ ගැන ප්‍රකාශ ලබාගැනීමට යැයි පවසමින් ත්‍රිවිධ හමුදා නිලධාරීන් අපහසුතාවට පත් කිරීම නුසුදුසු ක්‍රියාවක් බවද මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon