ගෙවුණු අවුරුදු තුනේ ආණ්ඩුව කළේ රාජපක්‍ෂවරුන් ඇතුළු විපක්‍ෂයට නඩු දැමීමයි

  👤  2732 readers have read this article !
By mawbima 2018-09-14

ගෙවී ගිය වසර තුනක කාලය තුළ රටේ ණය බර ගැන කතා කරමින් මේ ආණ්ඩුව රාජපක්ෂවරුන්ට හා විපක්ෂ ක්‍රියාකාරිකයන්ට නඩු පැවැරුවා මිස වෙන කළ කිසිම දෙයක් නැතැයි හිටපු ජනාධිපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ පවසයි.

අධික බදු බර හේතුවෙන් ගොවියන් කම්කරුවන් ව්‍යාපාරිකයන් පමණක් නොව රටේ සමස්ත ජනතාව පීඩාවට පත්වී ඇතැයි ඒ මහතා පවසයි.

මේ වන විට රට තුළ ඇත්තේ පාලනයක් නැති ආර්ථිකයක් බවද හෙතෙම කීවේය.

මහින්ද රාජපක්ෂ මේ අදහස් පළ කළේ මොනරාගල පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභාපතිවරුන්ගේ හා මන්ත්‍රිවරුන්ගේ හමුවකදීය.
මෙහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කීය.

අපේ ආණ්ඩු කාලයේදී තරම් ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන්ට ගමේ වැඩ කරන්න සල්ලි ලබා දුන්න වෙන ආණ්ඩුවක් නැහැ. ඒක කවුරුත් අවිවාදයෙන් පිළිගන්නවා. අපි දැන් ඉන්නේ වෙනම කණ්ඩායමක් විදියට. මේ ආණ්ඩුව ආව ගමන් කළේ ප්‍රාදේශීය සභා ටික විසුරුවලා දැම්මා. ඒක තමයි ආණ්ඩුව කළ ලොකුම මෝඩ වැඩේ. මං හිතන්නේ ඒක එයාලත් පිළිගන්නවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටහත් වැනි සංවත්සරය පසුගිය දාකට යෙදිලා තිබුණා. අපි පක්ෂයට ගොඩක් ආදරය කළ අය. අපේ කාලයේ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්වර්ණමය යුගය. එම යුගයේදී අපේ පක්ෂය ඉතාම ශක්තිමත්. එවකටදී පාර්ලිමේන්තුව අපේ. පළාත් සභාවන් ප්‍රාදේශීය සභාව අපේ. එහෙම ශක්තිමත් පක්ෂයක් තමයි අලුත් නායකත්වයට භාරදුන්නේ. නමුත් අපිව පක්ෂයෙන් එළවලා දැම්මා. ඒ නිසා තමයි පොහොට්ටුව බිහි වුණේ. පොහොට්ටුව බිහිවෙච්ච නිසා තමයි තමුන්නාන්සේලා ජයග්‍රහණය ලබලා ප්‍රාදේශීය සභා සභාපතිවරුන් මන්ත්‍රිවරුන් ලෙස මෙතැනට ඇවිල්ලා ඉන්නේ. මේ ආණ්ඩුව සංහිඳියාව ගැන කියමින් දැන් මතුරනවා. නමුත් අපි තමයි තිස් අවුරුදු යුද්දේ ඉවර කරලා ආයුධ බලයෙන් යටත් කරලා තිබුණ යාපනය ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය ලබාදුන්නේ.

යුද්ධය අවසන් වුණාට පස්සේ මම සම්පන්දන් මහතා දහපාරකට වඩා අරලියගහ මන්දිරයට ගෙන්නලා කිව්වා උතුරේ ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා නම් මගෙන් විසඳගන්න කියලා. ඒ ගේන විසඳුම සාධාරණ එකක් වෙන්න ඕන බවත් මොනම හේතුවක් නිසාත් රට දෙකඩ කරන්න බැරි බවත් මම එතුමාට කිව්වා.
නමුත් මං හිතන්නේ බොහෝ පිටරටවල් රාජ්‍ය නොවන සංවිධාන ඔවුන්ට උපදෙස් දුන්නා, රනිල් වික්‍රමසිංහ මහත්තයා බලයට ආවොත් දෙමළ ජනතාවට ලොකු කුට්ටියක් ගන්න පුළුවන් කියලා. කුට්ටිය ගන්න ගිහිල්ලා දැන් කට්ටිය ඇනගෙන.

දෙමළ ජනතාවගේ ප්‍රදේශවල අද කිසිම සංවර්ධනයක් නැහැ. මම දකුණේ රේල් පාර හදන්න කලියෙනුයි උතුරේ රේල් පාර හැදුවේ. අපි උතුරු වසන්තය වැඩසටහන යටතේ මහ විශාල සංවර්ධනයක් උතුරට ගෙනාවා.
මේ ආණ්ඩුව හැමදාම ණය බරයි ණය බරයි කියලා කන්කෙඳිරි ගානවා. අපි හැම ණයක්ම ගත්තෙ ගෙවන්න පුළුවන් ගාණටයි. මේ ආණ්ඩුව අවුරුදු තුනක් තිස්සේ කළේ ණය බර ගැන කතා කරමින් රාජපක්ෂවරුන්ට නඩු දැමීම විතරයි. වෙන වැඩක් කළේ නැහැ.

මොනරාගල - සංජීව බණ්ඩාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon