දෙරට අතර අනේ‍යාන්‍ය අවබෝධය අපගේ විදේශ ප්‍රතිපත්තියේ බළකණු ඉන්දියාවත් ලංකාවත් අතර සමීප මිත්‍රත්වයක් පවත්වා ගැනීම මගේ ඉදිරි දර්ශනයයි - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නවදිල්ලි නුවර පැවැති විශේෂ සමුළුවේදී කියයි

  👤  2761 readers have read this article !
By mawbima 2018-09-14

ඉන්දියාවත්, ශ්‍රී ලංකාවත් අතර විදේශ ප්‍රතිපත්තියේ බළකණුව වන්නේ එම රටවල් දෙකේ අනේ‍යාන්‍ය අවබෝධය බවත් ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර සමීප මිත්‍රත්වයක් පවත්වා ගැනීම තමාගේ ඉදිරි දර්ශනය බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉන්දියාවේදී පැවැසීය.

තම රට පිළිබඳ තම දර්ශනය බෙහෙවින් මුහුකුරා ගිය ජාතිකත්වයක් පදනම් කරගත් දර්ශනයක් වන අතර ඒ අනුව වාර්ගික හා සංස්කෘතික විවිධත්වය අත්‍යවශ්‍ය සාධකයක් ලෙස තමා හඳුනාගන්නා බවද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

රටේ ව්‍යවස්ථාව හා දේශපාලන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් තමිල්නාඩුව සහ මුස්ලිම් නායකයන් සමඟ පුළුල් සාකච්ඡාවකට සූදානම් යැයිද රාජපක්ෂ මහතා පවසා ඇත.
හිටපු ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කළේ පෙරේදා (12දා) ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවති විශේෂ සමුළුවක ප්‍රධාන ආරාධිත දේශනය පවත්වමිනි.
ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය පරාජය කිරීම සහ යුද්ධය ජයගත් පසුව රට සංවර්ධනය කළ ආකාරය පිළිබඳව මෙම දේශනයේදී මහින්ද රාජපක්ෂ මහතා කරුණු දැක්වීය. ඉන්දියාවේ පක්ෂ - විපක්ෂ දේශපාලකයන් විවිධ ක්ෂේත්‍රවල විද්වත්හු සහ ව්‍යාපාරික ප්‍රජාව මෙම සමුළුව සඳහා එක්ව සිටියහ.

මෙම විශේෂ සමුළුව අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පවසා ඇත.

මෙම සන්ධ්‍යා සමයේ ඔබ ඇමැතීම සඳහා මට ආරාධනා කිරීම ගැන ආචාර්ය සුබ්‍රමානියම් ස්වාමිටත් විරාත් හින්දුස්තානි සංගමයටත් මගේ ගෞරවය පිරිනමමි. අප හැම දෙනටම වැදගත් වන කරුණු කීපයක් මෙහිදී සඳහන් කරන්නට මම කැමැත්තෙමි. ආචර්ය සුබ්‍රමානියම් ස්වාමි අවුරුදු බොහෝ ගණනක් තිස්සේ අප සමඟ පවත්වාගෙන එන මිත්‍රත්වයත් එතුමා අප කෙරෙහි දක්වන හොඳ හිතත් මම බෙහෙවින් අගය කරමි.

මගේ රට වන ශ්‍රී ලංකාවෙහි පැවැති යුද ගැටුම් අදහස් කීපයක් ඔබ හමුවෙහි දක්වන්නට අදහස් කරමි. විශේෂයෙන්ම ඒ සම්බන්ධයෙන් පැතිර ගොස් තිබෙන වැරැදි මත කීපයක් නිවැරැදි කිරීමටද මම මෙය අවස්ථාවක් කර ගනිමි. ශ්‍රී ලංකා හමුදාව එකල ක්‍රියාත්මක කළ හමුදා කටයුතු කිසිවක් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට එරෙහිව නොවූ බව පළමුවෙන්ම සඳහන් කළ යුතුයි. එකල පැවැති ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවට පමණක් සීමා වූවක්ද නොවේ.

එම ත්‍රස්තවාදීන් ඉන්දියාවෙහිදීම රජීව් ගාන්ධි මහතා හා තවත් අය ඝාතනය කළ බවද ඔබ හැම දන්නා කරුණකි. එපමණක් නොව ත්‍රස්තවාදීහු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකව සිටි අමිර්තලිංගම් මහතාත් හිටපු විදේශ ඇමැති ලක්ෂ්මන් කදිරගාමර් මහතාත් ජාත්‍යන්තර කීර්තියට පත්ව සිටිනා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුද වූ නීලන් තිරුචෙල්වම් මහතාත් ඝාතනය කළා. ඔවුන්ගේ පළමුවැනි ඝාතනයට ලක්වූ දෙමළ ජාතිකයා යාපනයේ පුරපතිව සිටි ඇල්ෆ්‍රඩ් ‍ෙදාරේඅප්පා මහතාය. ත්‍රස්තවාදීහු එවැනි ශේ‍ර්ෂ්ඨ පුද්ගලයන් පමණක් නොව සාමාන්‍ය අහිංසක ජනතාවද බොහෝ දෙනකු මරා දැම්මා. එවැනි තත්ත්වයක් තිබියදී ත්‍රස්තවාදය තුරන් කිරීම එක් ප්‍රජාවකට පමණක් නොව වැදගත් නිදහස් ජීවිතයක් ගත කිරීමට කැමැති හැම කෙනකුටම ඵලදායක වූවකි.

එහෙයින් ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියාත්මක කළ හමුදාමය කාර්යය, පළමුවැනි විසඳුම නොව අවසාන විසඳුම බවට පත් විය. 2005දී මගේ රජය ත්‍රස්තවාදීන් සමඟ සාකච්ඡා පවත්වා සාමකාමී විසඳුමක් ඇතිකර ගැනීමට අවස්ථා කීපයකදීම ප්‍රබල උත්සහායක් දැරූ නමුත් ඒ හැම අවස්ථාවකදීම ත්‍රස්තවාදීන් ඒවායින් මඟහැර ඉතාම යටිකූට්ටු හා දෙපිටකාට්ටු ප්‍රතිපත්ති අනුගමනය ඔවුන්ගේ ත්‍රස්තවාදී ප්‍රතිපත්තියටම අනුගත වුණා. ඒ අතර බොහෝ රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල හා වෙනත් බොහෝ දෙනාද, ත්‍රස්තවාදය පරාජය කළ නොහැක්කක් බවත් ඒ නිසා ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියාත්මක කරන හමුදා මෙහෙයුම් නිෂ්ඵල බවත් පවසමින් ඒ අනුව අපට අනතුරු ඇඟවූහ. එවැනි තත්ත්වයක් යටතේ 2009දී ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම මුළු ලෝකයේම විස්මයට හේතුවිය.

මගේ රජය එදා අවශ්‍යව තිබුණු අරමුණ ඉටුකර ගැනීම සඳහා ප්‍රධාන කරුණු තුනක් පදනම් කර ගත් උපාය මාර්ග තුනක් අනුගමනය කළෙමු. ඉන් පළමු වැන්න අපගේ අරමුණ සහ ඉලක්කය වෙනුවෙන්ම එක හිතින් කැපවීමයි. ජාතික සුබසිද්ධිය උදෙසා ත්‍රස්තවාදය වැළැක්වීමට අධිෂ්ඨානශීලීව ක්‍රියාත්මක වීමයි. අප අපගේ සන්නද්ධ හමුදාව සටන් බිමට යැව්වේ ත්‍රස්තවාදීන් මනුෂ්‍යත්වය දූවිල්ලක් තරමටවත් නොසලකා හරිද්දීය. ගොවි ජනතාවට ඔවුන්ගේ ජීවිත පැවැත්ම සඳහා නැතිව බැරි ජල සැපයුම් කපා හරිද්දීය. ඒ මඟින් ත්‍රස්තවාදීන් අහිංසක ජනතාවගේ විනාශයට පාර කපද්දීය. ඒ හේතුකොටගෙන ත්‍රස්තවාදය පිටුදැකීම සඳහා හමුදා මෙහෙයුම් පමණක්ම හැර අනෙක් විකල්පයක් නැති බව හොඳින්ම තහවුරු වී තිබියදීය.
දේශීය මට්ටමේ උපායමාර්ග එසේ අත්‍යවශ්‍ය වූ අතරම ජාත්‍යන්තර මට්ටමේ දැඩි අවධානයද අත්‍යවශ්‍යම සාධකයක් විය. එහෙත් විදේශවලින් එල්ල වූ නොයෙක් බලපෑම් හේතු කොට ගෙන ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදයට එරෙහිව හමුදා මෙහෙයුම් අතහැර දමන්නට හෝ තාවකාලිකව නතර කරන්නට හෝ සිදුවුණු බවද රහසක් නොවේ. එහෙයින් මටම ඒ ප්‍රශ්නයට මුහුණ දීමට සිදුවිය. ත්‍රස්ත විරෝධී සටනේ අවසන් අදියරේදී ශ්‍රී ලංකාවේ දකුණේදී මා මුණගැසුණු මහා බි්‍රතාන්‍යයේ විදේශ ලේකම් හා ප්‍රංශ විදේශ ඇමැති තරයේ ඉල්ලා සිටියේ ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් නවත්වන ලෙසය. ත්‍රස්තවාදයේ අවසානය පේනතෙක් මානයේ තිබියදී මා එම ඉල්ලීමට අවනත වුවහොත් එය මගේ රටත් අනාගත පරම්පරාවල සුබ සිද්ධියත් ත්‍රස්තවාදයට පාවා දීමක් වන බව එම රාජ්‍යතාන්ත්‍රිකයන් දෙදෙනාට පිළිතුරු වශයෙන් කීවෙමි.

එවැනි අවස්ථාවකදී ශ්‍රී ලංකාවේ මිත්‍ර රටවලින් මට ලැබුණු සහයෝගය මා ඉතාම අගය කරන බව මෙහිදී සඳහන් කළ යුතුය. ත්‍රස්තවාදීන් මගේ රටට දරුණු සංකීර්ණ අවි හා පුපුරන ද්‍රව්‍ය රැගෙන එමින් තිබුණු පාවෙන අවි ගබඩා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ශ්‍රී ලංකා වෙරළෙන් නාවික සැතැපුම් දහස් ගණනක් අෑතදී වළක්වා විනාශ කරනු ලැබීය. එහි එක්සත් ජනපදය ඇතුළු රටවලින් සැපයුණු ඔත්තු සේවාද මම බෙහෙවින් අගය කරමි.

ඉන්දියාවේ මිත්‍රත්වය අනුව එරටින් භෞතික වශයෙන් හා සාදාචාරාත්මක වශයෙන්ද ලැබුණු ඉක්මන් සහාය මම මෙහිදී විශේෂයෙන් අගය කරමි. එය මට ඉතා වැදගත් සහායක් වූ හෙයින් මම මගේ කැපවීම මතම නොසැලී සිටියෙමි. විදේශීය හමුදාවකටද ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය තුරන් කළ හැකි නොවූයේ ත්‍රස්තවාදීන් අපරාජිතය යන ප්‍රවාදය නිසා බවද මම වටහා ගෙන සිටියෙමි. එහෙත් මගේ රට වෙනුවෙන් මා ඇතිකරගත් අධිෂ්ඨානය අත්නොහළෙමි. ඉන්දියාව දැක්වූ විශේ්ෂ අවධානය ගැනද මා විශේෂයෙන්ම සැලැකිලිමත් වූයේ ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාවත් තමිල්නාඩුවත් අතර පවත්නා සමීපතාව අනුවය.

එහෙයින් මගේ ප්‍රතිපත්තිය වූයේ ඉන්දියාව හා අනෙක් රටවල් සමඟ මේ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් නිරන්තර සාකච්ඡා පැවැත්වීමය. ඒ සඳහා අපගේ පිළිවෙත වූයේ, අනේ‍යාන්‍ය වශයෙන් නිරන්තර සම්බන්ධතා එක එක්කෙනා සමඟ පැවැත්වූ ප්‍රධාන නිලධාරීන් සම්බන්ධ කරගත් ට්‍රොයිකා යාන්ත්‍රණය යොදා ගත්තෙමු. එහෙයින් ඉදිරි කාලයේදීද නොයෙක් ආර්ථික හා සමාජ ප්‍රශ්න සම්බන්ධයෙන්ද එම යාන්ත්‍රණය උපයෝගි කරගත හැකි යැයි මම විශ්වාස කරමි. ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් පසුවද පැවැති උණුසුම් තත්ත්වය සහනශීලී බවට පත්කර ගැනීම සඳහා උසස් පෙළේ නවදිල්ලි නියෝජිතයන් ඉතා කෙටි දැන්වීමකින් මා මුණගැසුණු අවස්ථාව මම මෙහිදීද සිහිපත් කරමි.

ඒ අවස්ථාවේ සිටි ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී ශිව් ශංකර් මෙනන්, රාජ්‍ය දෙක අතර පැවැති අනේ‍යාන්‍ය අවබෝධය ඔහු විසින් මෑතදී පළ කරන ලද පොතක සඳහන් කර ඇත. අප අතර පැවැති සමබර විදේශ ප්‍රතිපත්තිය මේ තත්ත්වය සඳහා ඇත්ත වශයෙන්ම උපකාරි විය.

ත්‍රස්තවාදීන් ඔවුන්ගේ ගිනි අවියේ බලයෙන් උතුරු පළාතත් මුහුදත් අතර රඳවාගෙන සිටි 300,000ක් පමණ දෙමළ ජනතාව ත්‍රස්ත ග්‍රහණයෙන් මුදා ගැනීම සඳහා අපගේ සන්නද්ධ හමුදාව මානුෂික මෙහෙයුමක් ආරම්භ කළා. හමුදාව එය අතහැර දැමුවේ නම් ඔවුන් අතින් සිදුවිය හැකිව තිබුණු සිය රාජකාරිය පැහැර හැරීම අතින් සමාව නොලැබෙන වරදකි. එම මෙහෙයුමේදී සාමාන්‍ය වැසියන් 40,000ක් පමණ මිය ගියහයි සමහරුන් ඉතා බරපතළ බොරුවක් ප්‍රචාරය කළ නමුත් හමුදාවේ කැප වීම නොවන්නට මහ මිනිස් ඝාතනයක් සිදු විය හැකිව තිබිණි. බි්‍රතාන්‍යයේ නෙසබි සාමිවරයා ප්‍රකාශ කළේ එහිදී ත්‍රස්තවාදීන්ද ඇතුළුව මිය ගිය ගණන 8,000කට වැඩි නොවීයැයි පැවැසීය. එහෙත් අසත්‍ය ප්‍රචාරයෙහි යෙදුණවුන්ට එම ඇත්ත නොපෙනිණි. නැතහොත් ඔවුන් එය හිතාමතාම වසන් කර ඇත.

යුද්ධය කොතරම් අහිතකර හා බිහිසුණු වෙතත් ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා එය අත්‍යවශ්‍ය විය. තිස් අවුරුදු යුද්ධය අවසානයේදී ප්‍රතිසන්ධානය හා සංවර්ධනය ඉතා හදිසි අවශ්‍යතාවක් විය. දිගු කලක් තිස්සේ මැඬලී තිබුණු අප ජනතාවගේ ප්‍රවේණී ශක්තිය යළි යහමුලින්ම ප්‍රකාශයට පත්වීම අත්‍යවශ්‍ය විය. උතුර හා නැඟෙනහිර ජනතාවගේ ජීවන තත්ත්වය නැංවීමත් ඔවුන් උදෙසා ආදායම් මාර්ග ඇති කිරීමට ඉතා හදිසි අවශ්‍යතාවක් වූ හෙයින් මගේ රජය යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමත් අධිවේගී මාර්ග ඇතුළු සංවර්ධන කටයුතුත් කෙරෙහි උපරිම අවධානය යොමු කොට ඒවා ක්‍රියාත්මක කළේය. වාරිමාර්ග සංවර්ධනය පාසල් ගොඩනැඟිලි ඉදිකිරීම හා රෝහල් ඉදිකිරීම යනාදිය ආරම්භ කොට ඒවාට ප්‍රමුඛස්ථානය දුන්නේය.

ඒ සමඟම ඒවාට අදාළ ප්‍රවාහන, සන්නිවේදන, කෘෂිකර්ම, අපනයන කටයුතු, සමාජ සේවා, සෞඛ්‍ය හා අධ්‍යාපන යනාදී සියලු අත්‍යවශ්‍ය අංශ කෙරෙහි මගේ රජය විශේෂ අවධානය යොමු කරමින් ඒ අංශ උපරිම වර්ධනය සඳහා අත්‍යවශ්‍ය පියවර ගත්තේය.

2015දී මගේ රටේ පාලනය වෙනස් වීමෙන් පසු වත්මන් පරිපාලනය, ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයට මගේ රටට එරෙහිව ඉදිරිපත්ව තිබුණු යෝජනාවට අනුග්‍රහය දැක්විය. එම යෝජනාව අනුව අප රටේ කටයුතු අධීක්‍ෂණය සඳහා ජාත්‍යන්තර අධීක්‍ෂණ මණ්ඩලයක් පිහිටුවීම හා අප රටේ හමුදාව පිළිබඳ තීන්දු දීම සඳහා විදේශීය විනිශ්චයකාරවරුන්ට ඉඩ දීම යනාදී කරුණුද ඇතුළත් නමුත් ඒ සියල්ලක්ම ස්වෛරී, ස්වාධීන රාජ්‍යයක් වශයෙන් ශ්‍රී ලංකාවේ ඇතුළත් අයිතියක් විනා විදේශීය බලපෑම් මත විය යුතු දේ නොවේ.

මගේ රට පිළිබඳ මගේ දර්ශනය බෙහෙවින් මුහුකුරා ගිය ජාතිකත්වයක් පදනම් කොටගත් එකක් වන අතර ඒ අනුව වාර්ගික හා සංස්කෘතික විවිධත්වය අත්‍යවශ්‍ය සාධකයක් සේ සැලකෙයි. ව්‍යවස්ථාමය හා දේශපාලන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් තමිල්නාඩුව හා මුස්ලිම් නායකයන් සමඟ පුළුල් සාකච්ඡා පැවැත්වීමට මම උනන්දු වෙමි. අදාළ ආයතනික ව්‍යුහ පූර්ණ විනිවිදභාවයෙන් හා අව්‍යාජත්වයෙන් යුක්ත විය යුතුය. භාෂා, ආගම්, සංස්කෘතික පසුබිම් යනාදී සියලු භේදවලින් තොරව සියලු රට වැසියන්ගේ සුරක්‍ෂිතතාව, ශේ‍ර්ෂ්ඨත්වය ආරක්ෂා විය යුතු අතර සමානත්වයෙන් යුතුව සියලුම ජාතික ජීවිතයට සහභාගි වීමේ අයිතිය ඔවුනට හිමි විය යුතුය.

මගේ දර්ශනයේ ඉතාම වැදගත් ලක්ෂණය වශයෙන් පවත්නේ ඉන්දියාව සමඟ සමීපතම මිත්‍රත්වය පවත්වා ගැනීමයි. සංස්කෘතික වටිනාකම්ද ආවේණික උරුමකම්ද විශේෂයෙන්ම බෞද්ධ සම්ප්‍රදායේ දීර්ඝ සම්බන්ධතාද අතින් දෙරටටම පොදු වන ඓතිහාසික සාධක හා සංකේත අපට තිබේ. විශේෂයෙන්ම ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර අනේ‍යාන්‍ය අවබෝධය අපගේ විදේශ ප්‍රතිපත්තියේ බළ කණුය.

ඔබගේ අගනගරය මගේ පැමිණීමද ඒ අනුව ඔබගේ අවධානයට ලක්වනු ඇත. මේ සැන්දෑ සමයේදී මෙම කරුණු ඔබ හමුවෙහි තැබීම සඳහා මට අවස්ථාව සැලසෙන සේ මට ආරාධනා කිරීම ගැන ආචාර්ය සුබ්‍රමානියම් ස්වාමිටත් විරාත් හින්දුස්තානි සංගමයටත් මම බෙහෙවින් ස්තුතිවන්ත වෙමි. ආරාධනය බෙහෙවින් අගය කරමි. ඉන්දියාවේ මගේ මිත්‍රයන්ගේ අඛණ්ඩ සම්බන්ධතාව මම හැම විටම අපේක්ෂා කරමි. ඔබ සැම දෙනාට ත්‍රිවිධ රත්නයේ ආශීිර්වාදය ලැබේවා!

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon